“විදුලි ඒකක 90 සහනය 30ට බසී” පුවත ගැන කරුණු පැහැදිලි කිරීමක්

Spread the love

“විදුලි ඒකක 90 සහනය 30ට බසී” යන සිරස්තලය යටතේ ඊයේ (දෙසැම්බර් 09) රිවිර පුවත් පතෙහි පල වූ ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙනි.

එම පුවතෙහි සඳහන් කරුණු සාවද්‍ය බව ඔබ වෙත දන්වා සිටිමු. අප අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළා යැයි සඳහන් කැබිනට් පත්‍රිකාවක අඩංගු කරුණු උපුටා දැක්වු එම පුවත මගින් විදුලි ගාස්තු නිර්ණය කිරීම පිළිබඳ වැරදි වැටහීමක් මහජනතාව තුළ ඇතිකර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා උපාය මාර්ග නමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මගින් පළ කළ 2008 ජුනි 10 වැනි දින රජයේ ගැසට් පත්‍රය බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී අවශ්‍ය නිර්ණායක හා මඟ පෙන්වීම ලබා දීම සිදුකරන ලදී. නමුත් 2009 වර්ෂයේ දී අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලි බල පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමඟ විදුලි බල ක්ෂේත්‍රය නව ගමන් මාර්ගයකට යොමු විය. ඒ අනුව විදුලිබල ක්ෂේත්‍රයේ නියාමන බලතල පැවරී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමටයි. එම පනතට අනුව විදුලිබල කර්මාන්තය සඳහා වු පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සකස් කිරීමේ බලය අමාත්‍යවරයා වෙත පැවරී ඇති අතර ඒ සඳහා සැලකිල්ලට ගත යුතු කරුණුද එම පනතෙහි දක්වා ඇත. මෙම පනත පාර්ලිමේන්තුව විසින් වසර 2009 දී අනුමත කර බලාත්මක වුවද එය ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ තවමත් නිකුත් වි නොමැත. මෙම අඩුව පිරවීමේ අරමුණින් ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සකස් කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමේ කටයුතු පමණක් විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිදුකර ඇත.

මෙහිදී නිවැරැදි කළ යුතු මුලික කරුණ වන්නේ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ මගින් විදුලි ගාස්තු තීරණය කිරිමට අවශ්‍ය මුලික නිර්ණායක ලබාදෙන අතර ගණනය කළ යුතු ආකාරය විස්තරාත්මකව ලබාදීමක් මෙහි දී සිදු නො වේ. තව ද විදුලි බල පනතෙහි සඳහන් ව ඇති පරිදි විවිධ සමාජ ආර්ථික කණ්ඩායම් සම්බන්ධයෙන් අවශ්‍යතා ඇතුළත් ව ශක්තිමත් ආර්ථික වර්ධනයක් සදහා අවශ්‍ය ඉලක්ක සාක්ෂාත් කරගැනීමට හැකිවනු පිණිස මෙම පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සකස් කළ යුතුය. ඒ අනුව අමාත්‍යංශය විසින් සකස් කළ පොදු ප්‍රතිපත්ති මාලාව මෙම නිර්දේශ මත සකස් වී ඇති බව තහවුරු කරනු කැමැත්තෙමි. එලෙස ඉදිරිපත් කරන නිර්ණායක ද සැලකිල්ලට ගෙන මහජන උපයෝගිතා කොමිසම විසින් ඒ සම්බන්ධයෙන් පොදු මහජන විමසීමක් වෙනුවෙන් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් හරහා මහජනතාව දැනුවත් කෙරෙනු ඇත. ඒ අනුව රාජ්‍ය පෞද්ගලික සහ පොදු මහජන අදහස්, යෝජනා සහ විවේචන පිළිබඳ ව ස්වාධීන අධ්‍යනයක් එම කොමිසම විසින් සිදු කරන අතර ඒ සියල්ලේ අධ්‍යයන වාර්තාව සිය නිර්දේශද සමඟ රජය වෙත ඉදිරිපත් කරයි.

පවතින විදුලි බල පනතෙහි විශේෂත්වය වන්නේ පාරිභෝගික අයිතිවාසිකම් නිර්වචනය කිරිමේදී වර්තමාන පාරිභෝගිකයා මෙන්ම අනාගත පාරිභෝගිකයින්ගේද අයිතිවාසිකම් සැලකිල්ලට ගත යුතු වීමයි. එම නිසා දැනට පවතින විදුලි ජනනය සම්ප්‍රේෂණය හා බෙදාහැරීමේ පහසුකම් අඛණ්ඩව ලබා දීමට හා වැඩි දියුණු කිරීමට අවශ්‍ය සම්පත් මෙම ක්ෂේත්‍රයෙන්ම ජනනය කර ගැනීමට හැකි වන පරිදි මෙම පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සකස් කර ඇත. ඒ අනුව ගෘහස්ත පාරිභෝගික කණ්ඩායමකට ලබාදෙන සහනාධාර සීමා කළ බවට සඳහන් එම වාර්තාව සාවද්‍ය බව තහවුරු කරනු කැමත්තෙමි.

මාධ්‍ය අංශය
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය
2011.12.09

RSL

Related Posts