ව්‍යස්ථානුකූල නොවන අයුරින් ආණ්ඩුව සිදුකරන වෙබ් අඩවි තහනම නිතීඥයෝ හෙළාදකිති

Spread the love

ව්‍යස්ථානුකූල නොවන ආකාරයට හා අත්තනෝමතික අයුරින් ආණ්ඩුව විසින් ප‍්‍රවෘත්ති වෙබ් අඩවි තහනමට ලක් කිරීම කෙරෙහි තම බලවත් විරෝධය පළකරන බව ප‍්‍රකාශ කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥ සංවිධානය එම තහනම වහාම ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කර සිටී.

පසුගිය සමයේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බරපතල ලෙස උල්ලංඝණය කරමින් ජන මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගෙන යාම හා අතුරුදන් කිරීම මෙන්ම සමහර මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම හා තහනම් කිරීම ජනමාධ්‍ය නිදහසට එරෙහිව එල්ල වූ මරු පහරවල් ලෙස සැලකිය යුතු බව තම සංවිධානය විශ්වාස කරන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥ සංවිධානය ප‍්‍රකාශ කරයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥ සංවිධානය, දිවයින පුරා පැතිරී සිටින නීතිඥ වරුන් හැත්තෑවකින් පමණ සමන්විත සංවිධානයකි. 2009 දෙසැම්බර් 10 වන දින ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දා එය පිහිටුවා ගන්නා ලදී.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා නීතිඥ සංවිධානය-ප‍්‍රවෘත්ති නිවේදනය

මේ වෙබ් අඩවි තහනමට අදාලව සංනිවේදන හා තොරතුරු තාක්ෂණ ආමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිල නිවේදනයේ දැක්වෙන්නේ මේ සමහර වෙබි අඩවි හි පළවන පුවත් මගින් මේ රටේ ප‍්‍රතිරූපයටත්, රජයේ ප‍්‍රධානියාටත්, අමාත්‍යවරුන්ට හා රජයේ උසස් නිළධාරීන්ටත් බොහෝ සෙයින් හානිදායක වන බවයි.

එම අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ ශ‍්‍රී ලංකාවෙන් හෝ වෙනත් රට වලින් ලබා ගන්නා තොරතුරු වෙබ් අඩවි මගින් ප‍්‍රකාශයට පත් කිරීමේ දී මාධ්‍ය ආචාර ධර්මවලට හා රටේ නීතියට ගරු කරමින් එවන් ප‍්‍රවෘත්ති පළ කරන්නට කටයුතු කරන ලෙසයි. මේ ඉල්ලීම සියළුම වෙබ් අඩවි වලින් කරනු ලබන අතරම රජය විසින් කිසිදු නෛතික හේතු දැක්වීමකින් තොරව මේ වන විටත් ප‍්‍රසිද්ධ වෙබ් අඩවි කිහිපයකටම ලංකාව තුල පිවිසීම අවහිර කර තිබෙන අතර ඇතැම් වෙබ් අඩවි අධිකරණ නියෝග මත තහනමට ලක් කර තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයන් ලෙස අප විසින් රජය විසින් මෙලෙස හිතුමතයේ වෙබි අඩවි වාරණය කරන්නේ කුමකට දැයි විශ්ලේෂණය කළෙමු. ඒ අනුව අපට පැහැදිලි වූයේ එකී වෙබ් අඩවි විසින් රටේ වර්තමාන තත්ත්වයන් පිළිබ`දව විසම්මුතික මත ඉදිරිපත් කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යළි ප‍්‍රවිශ්ට වන්න යැයි රජයට බලපෑම් කිරීම නිසා මෙලෙස මෙකී වෙබ් අඩවි තහනම් කරන්නට රජය විසින් කටයුතු කරනු ලැබ තිබෙන බවයි.

පසුගිය සමයේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බරපතල ලෙස උල්ලංඝණය කරමින් ජන මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගෙන යාම හා අතුරුදන් කිරීම මෙන්ම සමහර මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම හා තහනම් කිරීම දක්නට ලැබුණි. මේවා ජනමාධ්‍ය නිදහසට එරෙහිව එල්ල වූ මරු පහරවල් ලෙස සැලකිය යුතු බව අපගේ විශ්වාසයයි.

මේ සියළු මර්දනයන්ට රජය සෘජුව හා අනියමින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගත හැකි අතරම මේ වන විටත් ජනමාධ්‍යවේදීන් බහුතරයක් ජීවිත තර්ජන හේතුවෙන් රට හැර ගොස් ඇත. රජයේ මාධ්‍ය ආයතන සෘජුවම ආණ්ඩුවේ හොරණෑ බවට පත්ව තිබීම බරපතලය.

මෙලෙස ජනමාධ්‍ය වාරණය පෞද්ගලික ජනමාධ්‍ය කිහිපයක් උදෙසා පමණක් ක‍්‍රියාත්මක වන අතර රාජ්‍ය මාධ්‍ය ස්වයං වාරණයකට පෙළඹ වී තිබේ. රටේ ජනමාධ්‍ය පාලනය උදෙසා ක‍්‍රියාත්මක ආයතන යනු මේ වන විටත් තනිකරම දේශපාලනීකරණය වූ ආණ්ඩුවට පක්ෂපාතී ආයතන බවට පත්ව තිබීම රටට අහිතකරය.

අන්තර්ජාලය හා සයිබර් ජනමාධ්‍ය වඩ වඩාත් ජනතාවට සමීප වීම හරහා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පෘථුල වූ අතර රටේ පවතින දේශපාලන, සමාජයීය කරුණු සම්බන්ධයෙන් විසම්මුතික මත පළ කරන්නට මේ අනුව අවස්ථාව උදා විය. මේ සයිබර් ජනමාධ්‍ය ඔස්සේ ඇත්ත දැන ගන්නට ජනතාවට අවස්ථාව ලද බැවින් මේ වෙබ් අඩවි වාරණය සිදුවූයේ වෙනත් කුමන්ත‍්‍රණයක් මත දැයි අපට සැකයක් ජනිත වේ.

වර්තමාන රජය විසින් සිදු කරනු ලබන දූෂණ අක‍්‍රමිකතා හා අනිසි ලෙස බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතිය තහවුරු කරනු වස් අන්තර්ජාල ජනමාධ්‍ය වාරණයට එරෙහිව තවදුරටත් හඬ නගන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයන් වශයෙන් අප ප‍්‍රකාශ කරන්නට කැමැත්තෙමු.

යමෙකු කැමති වුවත් අකමැති වුවත් නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ හා මත දැක්වීමේ අයිතිය මානව අයිතිවාසිකම් නියාමයන් තුළින් තහවුරු වූ සර්ව භෞමික අයිතිවාසිකමක් බව සැළකිය යුතුය.රජය හෝ වේවා දේශපාලන පක්ෂයක් හෝ වේවා විවේචනය කිරීමේ අයිතිය යනු නැවත නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන බලාත්මක කරනු ලැබූ ජනතාවගේ අයිතිවාසිකමකි. යුක්තිය හා සාධාරණය පදනම කර ගනිමින් ක‍්‍රියාත්මක වූ සිවිල් හා දේශපාලන ආයතනයන්ට එම උපමානයන්ට පටහැනි ආකාරයෙන් යුක්තිය හා සාධාරණය උල්ලංඝණය කරන්නට අවස්ථාව ලබා දිය නොහැකිය.

මෙවැනි අනිසි වනචාරී යුක්ති ධර්මයන් තුළින් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වළපල්ලට යවන්නට ඉඩ දී බලා සිටිය නොහැකිය. අවසාන වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතීඥ සංවිධානය වශයෙන් රටේ දේශපාලන නායකයන්ගේ, මැති ඇමැතිවරුන්ගේ හා ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩු පක්ෂයේම අවධානය බ‍්‍රැන්ඩිස් විනිසුරුතුමා විට්නි එදිරිව කැලිෆෝනියා නඩු තීන්දුවේ දී ලබා දුන් තීරණය කෙරෙහි යොමු කරවන්නට කැමැත්තෙමු.

‘අපට නිදහස දිනා දුන් අපගේ නායකයෝ බියගුල්ලෝ නොවූහ. දේශපාලන නායකත්ව වෙනස්කම් ඇතිවීම පිළිබ`දව ඔවුහු බියපත් නොවූහ. බරපතල හානි සිදුවෙතැයි යන බිය විසින් නිදහසේ කතා කිරීමට ඇති අයිතිවාසිකම මර්දනය කිරීම සාධාරණීයකරණය නොකරයි.’

ව්‍යවස්ථා විරෝධී තීරණයක් වන වෙබ් අඩවි තහනමට ලක් කිරීම හා ලියාපදිංචි කිරිමේ කොන්දේසී පැනවීම වහාම හකුළා ගන්නා ලෙස අප රජයට බලකර සිටිමු.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා වූ නීතීඥයන්ගේ සංවිධානය වෙනුවෙන්
ලාල් විජේනායක
චන්ද්‍රා කුමාරගේ
කේ.එස්. රත්නවේලේ
වී.සුමන්දිරන්
සුදත් නෙත්තසිංහ
එල්. ජෝතිකුමාර්
රංජිත් විජේකෝන්
සුජීව ලාල් දහනායක
ජේ.සී වැලිඅමුණ

RSL

Related Posts