වසර 80,000කට පෙර ජීවත් වූ රයිනෝසිරස් රංචුවකගේ පොසිල මැණික් පතලකින් මතුවෙයි

Spread the love

වසර 80,000කට පෙර උල්කාපාත වර්ෂාවකින් මිය ගිය බවට විශ්වාස කළ හැකි රයිනෝසිරස් රංචුවකගේ පොසිල අස්ථි කොටස් මොඩල්සිම ලුණුගල රිලවුළු කඳුවැටිය පාමුල අඩි 80ක් පමණ ගැඹුරු මැණික් පතලකින් මතුව තිබේ.

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජීව විද්‍යාඥ කැළුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා පැවසුවේ, එම පොසිල පරීක්ෂා කළ විද්‍යාඥයන් විසින් ප්ලයිස්ටොසීන යුගයේ ජීවත් වූ රයිනෝසිරස්ගේ හිස් කබල බව තහවුරු කළ බවයි. පළමු පොසිල හමුවී වසර 16කට ආසන්න කාලයක් ගතවී ඇතත් වැඩිදුර පර්යේෂණ සිදුකිරීමට අදාළ බලධාරීන් මෙම සොයාගැනීම් පිළිබඳව උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරුණක් බවද ඔහු පැවසීය.

“අඩි 80ක් පමණ ගැඹුරු මැණික් පතලකින් පළමු පොසිල මතුකරගෙන තිබුණේ 1996දී. මම එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සමඟ එම ස්ථානයට ගොස් හිස් කබල් දෙකක නටබුන් එකතු කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා පීඨය සහ ආචාර්ය මොහාන් අබේරත්න මෙම පොසිල පරීක්‍ෂා කර වසර 80,000කට පෙර ජීවත් වූ රයිනෝසිරස්ගේ ඒවා බව තහවුරු කළා.”

මීට වසර 80,000 කට පෙර ඝන වැසි වනාන්තර සහිත මෙම ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික සත්වයා උල්කාපාත වර්ෂාවකින් මිය යන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ මතය වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. එම ස්ථානයේ වැඩිදුර පර්යේෂණ සිදුකිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය

Related Posts