වසංගතය අස්සේ වර්ජන රැල්ලක් ‘සෞඛ්‍ය සේවාව‘ තුළ ඇති වූයේ ඇයි?

Spread the love

කොරෝනා පැමිණීමයි සෞඛ්‍යයට අළුත් ඇමති පැමිණීමයි සිදු වන්නේ එකම කාලයක. පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය සෞඛ්‍යට පය ගහන්නේම වෛද්‍ය සංගමයේ පදයට නටනවා හැර වෙන දෙයක් නැති බව සිතේ දරාගෙනය. ඇය සෞඛ්‍යට පැමිණි අළුත කොරිඩෝවේ කෙනෙකු සමඟ සිනාසෙන්නට පෙරත් වට පිට බලන්නේ ඒ බව වෛද්‍ය සංගමයේ ඉත්තෙකු දැක ඉහලට වාර්තා කරනු ඇතැයි බියෙනි. ඒ නිසාම මුල සිටම ඇයට සමස්ථ සෞඛ්‍ය සේවාව පෙනුනේ නැත. පොදු සෞඛ්‍ය සේවාවේ වාසනාවකට ඇය කොවිඩ් රෝගියෙකු වී රෝහල් ගතවූ විට අනෙකුත් සෞඛ්‍ය සේවාවන් ගැන අවධියක් ලබා ගෙන තිබූ බව පෙනෙන්නට තිබිනි. නමුත් ඇය සෞඛ්‍ය සේවාවේ බොහෝ තීරණ වලට සෘජු දායකත්වයක් නොදක්වන, විශේෂයෙන්ම වසංගත පාලනය සෞඛ්‍ය දොරටුවෙන් එළියේ ඇති කාර්ය සාධනය බලකායට අදාල වන හා ඒ තුල තීරණය කරනු කරනු ලබන තත්ත්වයක් හමුවේ ඇයට සිදු කල හැකි කිසිවක් තිබුනේද නැත. ඇයගේ අරමුණ වූයේ දුසිමකින් 1/3ක් වූ සෞඛ්‍ය ඇමතිවරුවරුන්ගේ ලොක්කා තමන් බව ඇඟවීම සඳහා සීරුවෙන් යමක් කිරීම පමණි.

ආණ්ඩුවේ හිතවත්කම මවා පාමින් වෘත්තීමය පලිගැනීම් සිදු කිරීම.

වෛද්‍ය සංගමය යහපාලනයෙන් බැටකා එළියට විසිවී තිබුණු මොහොතක නැති වූ සියල්ලත්, පලි ගැනීම් සියල්ලත් බලාපොරොත්තු සියල්ල ලෙස හිසේ දරාගනිමින් අළු ගසා නැගිටින්නේ මෙම අවධියේදීමය. කාලාන්තරයක් තිස්සේ අනෙකුත් වෘත්තීමය සෞඛ්‍ය සේවාවන්ගෙන් පිරිමසා ගත නොහැකිව තිබූ වාඩුව පිරිමසා ගැනීම සඳහා සෞඛ්‍ය සේවයේ යාන්ත්‍රණය අතට ගැනීම සඳහා ඔවුන් ආණ්ඩුවේත්, ජනාධිපතිවරයාගේත් හිතවත්කම සෘජුවම භාවිතා කලේය. ඔවුන්ට අනූව 150,000 ක් පමණ වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දී ඇත්තේ වෛද්‍ය සංගමයේ හිතවාදීන් කිහපදෙනෙකු පමණි. ඒ නිසාම අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් පලි ගැනීම සාධාරණය. කොන් කිරීම සාධාරණය. එය සෞඛ්‍ය ඇමතිගේ, ලේකම්ගේ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ වගකීමකි.

සෞඛ්‍ය ලේකම්ගේ සුපුරුදු වින්‍යාසය

මේ අතරතුර වෛද්‍ය සංගමයේ පදයට නැටීමට හුරුවෙන්නට බැරිවූ සෞඛ්‍ය ලේකම්වරු රහසිගත අවලාද හමුවේ වරින් වර මාරු වෙන්නට පටන් ගත්තේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේම අද්දැකීම් සහිත නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අධ්‍යක්ෂවරුන් කොන් වන්නට පටන් ගත්තේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ද වරින් වර මාරු වීම් සහ පත්කිරීම් සිදු වූයේද නොපෙනෙන බලවේග වල අනුහසින්ය. අවසානයේදී සෞඛ්‍යට කර ගැසූ වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා කාලයක් අල්ලා සිටියේය. ඊට ප්‍රධාන හේතුව ඔහු නොදැනුවත්වම හෝ දැනුවත්ව වෛද්‍ය සංගමයට අවශ්‍ය නිලයෙන් අල්ලා ගත් නිසා බව කිව හැකිය. ඔහුට අනූව සාකච්ඡා කිරීමට පවා Protocol එකක් ඇත. උපාධි ලබාගත් සෞඛ්‍ය වෘත්තිකයන් අතරින් MBBS එකක් ඇති වෛද්‍ය වෘත්තිකයෙකුට වඩා වෙනත් වෘත්තියක් ගැන ඔහුට ලොකු අවබෝධයක්ද නැත. හමුදා නිළධාරියෙකු වන ඔහු වෘත්තීය සමිති හඳුනන්නේද නැත. ඉහල, පහල සහ සමාන්තර නිළධාරීන් සමඟ එකට සාකච්ඡා කර තිරණ ගැනීමේ ක්‍රමවේදයක්ද නැත. නමුත් තමාට ඉහලින් එන අණකට අනූව ක්‍රියාකිරීම සඳහා ඔහුට විශාල වග විභාගයක් අවශ්‍ය වන්නේද නැත. ඒ නිසාම ඔහු නිතර නිතර වෘත්තීය සමිතියක් ලෙස වෛද්‍ය සංගමයේ සමඟ සාකච්ඡා කලද අනෙකුත් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීම හෝ ඔවුන්ට සවන් දීම ඔහුට පත්තියං නොවීය. අමාරුවෙන් සාකච්ඡා කලද තීරණයක් ලබා දිය යුතු බව ඔහුගේ පොතේ සඳහන් වන්නේද නැත.

තීරණ / මාර්ගෝපදේශ කල්ලියකට සීමා වීම

කෝවිඩ් වසංගතය සෞඛ්‍යට එනකොටම ඉහත පරිදි බරපතල වූ වෛද්‍ය පරිපාලන වසංගතයක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක වූ බැවින් සියළු තීරණ සියළු මාර්ගෝපදේශ තුල බොහෝ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නොසලකා හැර තිබුනේය. වෛද්‍ය සංගමයේ උවමනාවට ඔවුන් කොනිත්තන්නට උත්සහ කර තිබුනේය. අනෙකුත් සෞඛ්‍ය වෘත්තීන් වෛද්‍යවරුන්ගේ අතකොළු පමණක් බව හැඟවීමට බොහෝ මාර්ගෝපදේශ නිර්මාණය කර තිබුනේය. ආරම්භයේ සිටම අතෘප්තිකර, පීඩාකාරී, ලෙස “අපව ගනන් නොගන්නා බව” සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැඟවෙන තීරණ ගැනීම මිස සියල්ලන්ගේ අභිමානය උත්ප්‍රේරණය කර සේවා තෘප්තිමත්භාවය වැඩි කිරීමට කිසිඳු වැඩ පිළිවෙලක් නොතිබුනේය.

මෙය වනාහී ආණ්ඩුවේ උවමනාවකට හෝ සෞඛ්‍ය අමාත්‍යවරියගේ උවමනාවකට හෝ සෞඛ්‍ය ලේකම්වරයාගේ උවමනාවකට සිදු වූවාට වඩා ඔවුන්ගේ බලය අනියම් ලෙස භාවිතා කරමින් වෛද්‍ය නිළධාරී සංගමයේ උවමනාව මත සිදු වූවක් වුවද සෞඛ්‍ය සේවයේ සමස්ථ කාර්ය මණ්ඩලය දවසින් දවස උරණ වූයේ සෞඛ්‍ය පරිපාලනය සමඟය, සෞඛ්‍ය යාන්ත්‍රණය සමඟය, ආණ්ඩුවේ තීරණ ගන්නා උදවිය සමඟය.

වෛද්‍ය පරිපාලනය වෛද්‍ය පිඟානටම බෙදා ගැනීම

මේ අතරවාරයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාලව සිදු වූ මදි පුංචිකම් වලට අමතරව අඩු පාඩුකම්ද වැඩි වැඩියෙන් මතු වන්නට විය. නමුත් වසංගතයක් හමුවේ රට විපතට පත්ව ඇති මොහොතක කිසිසේත්ම පහසුකම් ඉල්ලා අරගල උත්ඝෝෂණ නොකල යුතු බව සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ තේරුම් ගැනීම විය. කාලාන්තරයක් තිස්සේ පසුපසට ගොස් තිබූ ඉල්ලීම් රැසක් ඉල්ලීමට පවා කෙනෙක් නොමැති තත්ත්වයක් හමුවේ වුවද මෙය අරගල කිරීමට සුදුසු පරිසරයක් නොවන බව බහුතර වෘත්තීය සමිති තේරුම් ගෙන තිබිණි. ඒ නිසාම මැසිවිලි මැද වැඩ කරමින් වසංගතය ඉවර වූ දවසක වාඩුව ගනිමි යැයි හිත හදා ගන්නට බහුතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිදු වූයේය. එසේම අඩුපාඩු කෙතෙක් තිබුනත් රජයට දෙන්නට මේ වෙලාවේ සල්ලි නැති බවද බොහෝ අයගේ පොදු පිළිගැනීම හා විශ්වාසය විය.

නමුත් එකවරම රජය කොවිඩ් වෙනුවෙන් වැඩකලා යැයි කියමින් වෛද්‍ය නිළධාරීන් සඳහා පමණක් 78% කින් දීමනා වැඩිකලේය. ඊටත් පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය නිළධාරීන්ගේ පවුල් වලට පමණක් එන්නත් ලබා දීමේ චක්‍රලේඛයක් හොර රහසේම නිකුත් කලේය. සමස්ථ සෞඛ්‍ය සේවාවට එතෙක් සිදු කරමින් තිබූ කෙනෙහිලිකම් වල ඉවසීම සීමාව පුපුරා යන්නේ එතැනින්ය. “ආණ්ඩුවට අපිට මාස්ක් එකක් දෙන්න සල්ලි නැත්නං දොස්තරලට විතරක් මේච්චර දීමනා වැඩි කරන්න සල්ලි කොහෙන්ද? අපි කරන OT ටික ගෙවන්න සල්ලි නෑ කියල කපනව නං දොස්තරලට විතරක් තව OT දෙන්නේ කොහොමද? කොරෝනා වාට්ටුවේ ඉන්න අපේ අම්ම තාත්තට අවධානමක් නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකන්ම ඉන්න වෛද්‍යවරයෙක්ගේ ගෙදර ඉන්න සේවකයෙකුට අවධානම ඇති වන්නේ කොහොමද? කෝවිඩ් වෙනුවෙන් වැඩ කරන්නෙ වෛද්‍යවරුන් විතරද?” වැනි අතොරක් නැති ප්‍රශ්ණ වසංගතයේ වගකීමට උඩින් පිටාර ගලන්නට විය. තැනින් තැන සෞඛ්‍ය කාර්යය මණ්ඩල එතෙක් සඟවා ගෙන තිබූ ඉල්ලීම්, අවශ්‍යතා පොදි බැඳ ගනිමින් වීදී බසින්නට විය. ආණ්ඩුවට, සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව අරගල කරන්නට විය.

ආණ්ඩුවට සෞඛ්‍යයේ සැබෑ ගැටළුව සන්නිවේදනය කිරීමට කෙනෙකු නොමැති වීම.

නමුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මේ සැබෑ ගැටළුව රජය හෝ ජනාධිපතිවරයා වෙත සන්නිවේදනය කරවන්නටද සාධාරණ ක්‍රමයක් නොවීය. සෞඛ්‍ය ලේකම්වරයාට අනූව වෛද්‍යවරුන් නොවන හැම කෙනෙක්ම “බඩියෙක්ය” බොහෝ දේ කතා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ ඉතා කලාතුරකින් වුවත් එය තේරුන් කරන්නට ඇත්තේ ඉතා අඩු හැකියාවකි. එය තේරුම් ගත්තද එය ජනාධිපතිවරයාට හෝ රජයට සන්නිවේදනය නොවන තරම්ය. මේ ඇසිල්ලෙන් නැවත ප්‍රයෝජන ගන්නේ පරණ පිරිසමය ඔවුන් දිනපතා ජනාධිපතිවරයා හමුවෙමින් මෙය ආණ්ඩු විරෝධී රැල්ලක් ලෙස පෙන්වමින් එය පොඩි පට්ටම් කරන්නට හදන්නේ ආණ්ඩුවේ යහපත සඳහා නොවීය. ආණ්ඩුවට අබමල් රේණුවක හෝ ආදරයක් ඇත්නම් එන්නත් කිරීමේදී තමන්ගේ දෙමව්පියන්ට පමණක් එන්නත් විද ගැනීමේ නීතියක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අපයෝජනය කරන්නේ නැත. රජයට මෙතරම් ආර්ථික අහේනියක් ඇති මොහොතක අතිවිශාල දීමනා වැඩි කරගැනීමක් වෙනුවෙන් ආණ්ඩුව උගුලක හසුකරන්නේ නැත.

GMOA එකට ඇති විරෝධතාවය ආණ්ඩුවේ පිට පටවා ගැනීම

අවසානයේදී බහුතර සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට එරෙහිව වෛද්‍ය සංගමය විසින් කාලාන්තරයක් තිස්සේ සිදු කරන ලද කෙනෙහිලිකම් වර්තමාන ආණ්ඩුවේ ආනුභාවයෙන් කරලිය රැගෙන ඒම හේතුවෙන් පීඩාවටත්, අපහසුතාවයටත්, නොසන්සුන්තාවයටත් පත්වූ බහුතර සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ විරෝධය රජයට ඇති විරෝධයක් ලෙස හරවා දමන්නට උත්සහ දැරුවද මේ පුපුරා ගොස් ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය වෛද්‍ය සංගමයේ පදයට නටන්නට යාම නිසා පැනනැඟි තත්ත්වයට එරෙහිව ඇතිවූ විරෝධය මිස 150,000 ක් වූ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ බහුතරයක් “පොහොට්ටුකාරයන්” නොවීම නිසා පැනනැඟි තත්වයක් නොවන බව ආණ්ඩුව වටහා ගත යුතුය.

රවී කුමුදේශ්, සභාපති, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය

Related Posts