ලියාපදිංචි නොකළ වී ගබඩා වැටලීම ගැන වී ගබඩා හිමියෙක් කරන බරපතළ චෝදනාව

Spread the love

වී තොග රැස් කිරීමේදී ලියාපදිංචියක් නොවීම නිසා වී තොග අත්පත් කර ගැනීම සිදු කරනු ලබන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ශක්තියත් වීම සඳහා බවට උල්පතගම ප්‍රදේශයේ වී තොග  ව්‍යාපාරිකයෙකු චෝදනා කළේය.

ගල්කිරියාගම උල්පත්ගම ප්‍රදේශ්යේ ලියාපදිංචි නොකල ගබඩාවක රැස්කර තිබූ වී මිටි 4000ක් පමණ ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා වැටලීම් අංශයේ නිලධාරින් සහ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ (01) පස්වරුවේ සොයා ගෙන  තිබේ.

අනුරාධපුර  දීස්ත්‍රික්  පාරිභෝගික සේවා වැටලීම් අංශයට  ලද තොර තොරතුරක් මත දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදී  මේ බව අනාවරණය කර කරගෙන තිබේ.

උල්පතගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි වීමකින් තොරව  ප්‍රදේශයේ ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඒවා ගබඩා කරගෙන තිබෙන බවත් ගබඩා කිරීමට අවැසි නම් රජයේ නීති රීතිවලට යටත්ව ක්‍රියා කළ යුතු බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පැවසූ අතර එම වී ගබඩාවට  මුද්‍රා තබා එහි වී තොග වී අලෙවි මණ්ඩලයට ලබාදීම සඳහා  අවශ්‍ය පියවර ගන්නා බව අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහූ පැවසූහ.

මෙම ගබඩාවේ සම්බා වී ගෝනි 2000ක් සහ නාඩු වී ගෝනි 2000ක් ගබඩා කර තිබුණු බවත් ගබඩාව රජයේ බැංකුවක සතු දේපොළක් ලෙස ප්‍රදර්ශනය කර තිබු බව වැටලීම් නිලධාරීහූ පවසති.

එහෙත් වී  තොග රැස්කරගෙන සිටි ව්‍යාපාරිකයා කියා සිටියේ තමන් ලංකා බැංකුව සමඟ මෙම වී තොග රැස් කළ බවය. තම ගොඩනැගිල්ලේ ලංකා බැංකුව සතු ආයතනයක් බවට  ප්‍රදර්ශනය කර තිබෙන බවත් එහෙත් රජයේ මුදල්වලින් වී මිලදී ගෙන තිබීම නිසා ලංකා බැංකුව රජයේ ආයතනයක් නිසාත් තමන් ලියාපදිංචිය සඳහා යොමු නොවුණු බව ඔහු සඳහන් කළේය.

ඒ ගැන  දැනුවත් වීමක් නොතිබුණු බවත් වී තොග රැස් කිරීමේදී ලියාපදිංචියක් නොවීම නිසා වී තොග අත්පත් කර ගැනීම සිදු කරනු ලබන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ශක්තියත් වීම සඳහා බව ඒ මහතා සඳහන් කළේය.

තමන් සිදු කරන්නේ වී තොග රැස් කිරීමක් නොව තම ප්‍රදේශයේ ගොවි ජනතාවට අස්වනු නෙළාගැනීමට සහ විවිධ අවස්ථාවන්හිදී ණය මුදල් ලබාදී ඔවුන්ගේ වී අස්වැන්න ලබාගෙන අතරමැදියකු ලෙස තවත් මෝල්  හිමියෙකුට සුළු ලාබයකට අලෙවි කිරීම් බවය.

තාම  ප්‍රදේශයේ ගොවීන්ට එවැනි උදව්වක් කිරීම මහා බරපතළ වරදක් ලෙස දකින බවත් එහෙත් මෙම ගොවීන්ට උදව් කිරීම් සහ වී අස්වනු රැස්කිරීම කුඩා මෝල් හිමියන් ‍ව්‍යාපාරිකයන් හැටියට අතහැර දැමූ විට ප්‍රධාන පෙළේ වී මෝල්  හිමියන් පමණක් මෙරට සහල් සහ වී අලෙවිය සිදු කරන බව ද ඒ මහතා සඳහන් කළේය

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට වී මිල පාලනය කරනවාට වඩා සහල් මිලට සහතික මිලක් දමා එය පාලනය කිරීම කළ යුතු බවය.

සටහන හා ඡායාරූප – කංචන කුමාර ආරියදාස

Related Posts