ලබාගත් ණයවල තරමට ආණ්ඩුව වැඩක් කරලා නෑ – ඉරාන් වික්‍රමරත්න

Spread the love

රජය දේශීය හා විදේශීය වශයෙන් ලබා ගත් ණය ප්‍රමාණයට සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදිත ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම්කර නොමැති බව ප්‍රකාශ කළ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඒ නිසාම ජනතාව හාමතේ දමා පීඩනයට හසු කර විදේශීය ගජ මිතුරන්ගේ ණය ගෙවීමට ප්‍රමූඛතාවය දෙන්නේ යැයි රජයට චෝදනා කළේය.

ඩොලර් සහ විදේශ විනිමය හිඟතාවය හේතුවෙන් අතේ මුදල් පැවැතියද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදීගත නොහැකි ජනතාවට දැන් ඉන්ධන නොමැති තත්ත්වයක් මත විදුලිය නොමැතිව දිනකට පැය කිහිපයක් අඳුරේ සිටීමටත් සිදුව  ඇත්තේ රජයේ නොහැකියාව හා ගජ මිතුරන්ට සැලකීමට ප්‍රමූඛතාවය දෙන නිසා යැයි සඳහන් කළේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ  පැවති මාධ්‍ය සාකච්ඡාව ඇමතූ ඉරාන් වික්‍රමරත්න මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

ජනාධිපති බලයට පත් වී වසර දෙකකට පසුව සිය දෙවන ප්‍රතිපත්ති ප්‍රකාශන කතාව කළ ද එහි රට මුහුණ දෙන වර්තමාන ප්‍රශ්නවලට කිසිදූ පිළිතුරක් අඩංගු වූයේ නැත. රට ප්‍රධාන වශයෙන් ගැටලු දෙකකට මුහුණ දුන් නමුදූ ඒ එක් ප්‍රශ්නයකටවත් ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පිළිතුරක් තිබුණේ නැත. බඩුමිල සීඝ්‍ර ලෙස ඉහළ යාමෙන් උද්දමනය එළවළු ,කරල්වල මිල ගණන් අනුව ඉහළ නැංවේ. දෙවනුවට විදේශ විනිමය හිඟ හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය මුළුමණින්ම පාගේ ඇණ හිට තිබේ. ආහාර භාණ්ඩ හා ඉන්ධන පමනක් නොව ජනතාවට අවශ්‍ය බෙහෙත් සඳහා ද හිඟයක් ඇතිවෙමින් තිබේ. රටේ අවශ්‍ය බෙහෙත් නිෂ්පාදනය කරනු ලබන්නේ 25 %ක් පමණි, ඉතිරිය ආනයනය කරනු ලැබේ. ආනයනයට අවශ්‍ය ඩොලර් නොමැති නිසා අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සඳහා ද හිඟයක් මතුව තිබේ.

ජනතාව මෙසේ පීඩනයට ලක්ව සිටින මේ මොහ්හොතේ රජය ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය වෙලාවට බේරුවා යැයි පම්පෝරි ගැසීම සැකයට දුඩු දෙන්නකි. ජනතාවට වඩා විදේශීය ණය කාරයන් රජයට වැදගත් වීමේ රහස කුමක්ද යැයි ජනතාව ට කිව යුතුයි. මේ බැඳුම් කර ණය ආපසු ගෙව්වේ කාටදැයි රජය ජනතාවට සත්‍ය හෙළිකළ යුතුය් යැයි ඉරාන් වික්‍රමරත්න මහතා ඉල්ලා සිටියේය.

රජය ආර්තිකය අනාගැනීම හේතුවෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත දමා තිබේ. රට බංකලොත්භාවයට පත්වන එවන් පසුබිමක රජය දේශීය ජනතාව නොසලකා හැර විදේශීය ණය ගෙවීමට ප්‍රමූඛතාවය දීමේ රහස දැනගැනීම රටට වැදගත් වේ.

විදේශ විණිමය නොමැතිව බංකලොත්භාවයට පත්ව තිබෙන අවධියක ශක්තිමත් ස්ථාවරයක පිහිටා ජාත්‍යන්තරය සමග ගනු දෙනු කළ නොහැකි නිසාම ඉන්දියානු තෙල් සමාගම ලංකා විදුලි බල මණ්ඩලයට තෙල් දීමට ප්‍රතික්ෂේප කල බව විෂය භාර අමාත්‍යවරුන්ම කියන තත්ත්වයට රජය මේ රට හෑල්ලුවට පත් කර තිබේ.

නිසි ආර්ථික වැඩ පිළිවෙලක් නැති නිසාම මසකට ඩොලර් මිලියන 600 ක් පමණ ලැබූ විදේශ ප්‍රේෂණ නොලැබෙන තත්ත්වයට රට පත්කර ඇති බැවින් යුග දනවි බලාගාරය ඩොලර් මිලියන 500 ක් වැනි සොච්චමකට විකිණීමට සිදු ව ඇත්තේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් නොවීම නිසා යැයි හෙතෙම් කීය.

ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික විකුණුවේ කීයටදැයි ආණ්ඩුවේ ඇමතිවරුන්ද නොදනී. යුගදනවි හා තෙල් ටැංකි අලෙවි කිරීම සම්බන්ධ ගිවිසුම  දැක නැතැයි රජයයේ අමාත්‍ය මණ්ඩල අමාත්‍යවරුන්ම ප්‍රකාශ කිරීමෙන් රට ජාත්‍යන්තරය ඉදිරියේ බාල්දුවී තිබීම ඔප්පුවන බව ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

Related Posts