ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකක් රැස්වේ

Spread the love

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 04 වනදා සහ මැයි 05 වනදා යන දිනවලදී පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කරන ලදී.

එහිදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ලබන 05 වනදා පෙ.ව 10.00 සිට රාත්‍රී 8.00 දක්වා සම්පූර්ණ දිනය තුළදීම විවාදයට ගැනීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එමෙන්ම විපක්ෂය කළ යෝජනාවකට අනුව කෝවිඩ් 19 අභියෝගය හමුවේ රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් ලබන මැයි 04 වනදා පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමටද එහිදී තීරණය වූ බව දසනායක මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව පැවැත්වෙන දින දෙකේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් නොවෙන බවද මහලේකම්වරයා පැවසීය.

මැයි 04 වනදා පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද, සුරාබදු ආඥා පනත යටතේ වන නිවේදන 04 ක්, වැට් බදු සම්බන්ධව පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ද පක්ෂ නායකයින් එකඟ වූහ.

ඉන් අනතුරුව පෙ.ව 11.00 සිට දිවා ආහාරය සඳහා සභාව කල්තැබීමකින් තොරව ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ඉල්ලා සිටි රටේ වත්මන් තත්ත්වය පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙන බව මහලේකම්වරයා පැවසීය.

එමෙන්ම මැයි 05 වනදා පෙ.ව 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාර්ලිමේන්තුව දිවා විවේකය සදහා කල් තැබීමකින් තොරව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයට ගනු ලබන බවද දසනායක මහතා කීවේය.

මෙම රැස්වීමට සභානායක සහ  විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ද කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. ඇල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර සහ ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, ගයන්ත කරුණාතිලක, ඩිලාන් පෙරේරා, මනෝ ගනේෂන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ද  සහභාගී වූහ.

Related Posts