ලංකාව පිළිකා අවදානම් කලාපයට.. මෙරට ලක්‍ෂයකින් 22.2 කට පියයුරු පිළිකා.

Spread the love

මෙරට කාන්තා ජනගහනයෙන් ලක්‍ෂයකට 22.2 දෙනකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස්‌ මහත්මිය පවසන්නීය.

දැනට මාසිකව මෙරටින් පියයුරු පිළිකාවට ලක්‌වූ කාන්තාවන් 6-7 ක්‌ අතර සංඛ්‍යාවක්‌ හඳුනා ගන්නා බව පැවසූ වෛද්‍ය අල්විස්‌ මහත්මිය මෙරට වැඩිහිටි ජනගහනය දැනට වැඩි වෙමින් පැවතීම හේතුවෙන් එයද ඉදිරියේදී මෙරට පියයුරු පිළිකාවන්ට ගොදුරු වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම කෙරෙහි බලපානු ඇතැයි අවධාරණය කළාය.

දැනට මෙරටින් වාර්තා වන පියයුරු පිළිකාවට ලක්‌වන කාන්තාවන්ගෙන් සියයට 80 කට අධික සංඛ්‍යාවක්‌ වයස අවුරුදු 50 ට වැඩි අය වන අතර එසේ වුවද පියයුරු පිළිකාවට ගොදුරු වූ වයස අවුරුදු විසි ගණන්වල තරුණියන් පිsළිබඳවද වාර්තා වී ඇතැයි ඇය සඳහන් කළාය.

මුල් අවස්‌ථාවේ හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකාව සම්පූර්ණයෙන් සුවකළ හැකි බවද වෛද්‍යවරිය ප්‍රකාශ කළාය. ඔක්‌තෝබර් මාසය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වීම හේතුවෙන් ඒ නිමින්තෙන් සෞඛ්‍ය අංශ වෙත ජනතාව පියයුරු පිළිකාවන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා ස්‌වයං පියයුරු පිළිකා නිරීක්‌ෂණ කට්‌ටල බෙදාදීම සඳහා (24 දා) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්‌ථානයේ පැවැති උත්සවයක්‌ අමතමින් විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස්‌ මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය.

Related Posts