රේගුවේ අත යටින් රිංගූ බීට් දඹුල්ල ආර්ථිකේ – ගොවීන්ට යකා නගී

Spread the love
  • වගකීම රේගුව භාර ගත යුතුයි
  • වහාම පරීක්ෂණයක් ඕනෑ

පකිස්ථානයෙන් ආනයනය කරන ලද බිට් රූට් තොගයක් දින  කිහිපයක  සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉතා හොර රහසේ අලෙවි කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

නුවරඑළිය ප්‍රදේශයෙන් ගෙන්වා සීත ගබඩාවල තබා අලෙවි කරන බව පවසමින් ඉතා සූක්ෂම ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳසැල් කිහිපය මෙම පාකිස්ථානයෙන් ගෙන්වන ලද බීට්රූට් අලෙවි කළ බව ඔවුහු පවසති.

පාකිස්තතානයෙන් ගෙන්වා ඇති බව කියන බිට් රූට් අලෙවි කිරීම සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් වලට පසුගිය 14 වැනි දින උදේ ගොස් සොයා බැලීමේදී ඇතැම් වෙළෙන්දන් කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක්  පවත්වාගෙන යන අයෙකු පාකිස්ථානයෙන් ගෙන්වා  තිබූ බීට්රූට් තම වෙළඳසැල්වල දමා කොමිස් මුදලට අලෙවි කළ බවය.

දේශීය බිට් රූට්  කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර ඉහළ මිලකට අලෙවි වීමත් සමඟ  පාකිස්තානයෙන් ගෙන් වා තිබූ බීට්රූට් කිලෝව රුපියල් 220 ත් 280 ත්  අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.

කෙසේ වෙතත් මෙම පාකිස්තථානයෙන් බීට්රූට් ගෙන්වූ බව කියන වෙළඳසැල  සේවකයන් කියා සිටියේ තම වෙළඳ සැලෙන් අලෙවි නොකළ බවත් වෙනත් කණ්ඩායමක් ආර්ථික මධ්‍යස්ථානයෙන් පිටත එළියේ එම බීට්රූට් අලෙවි කළ බවය.

ආර්ථික මධ්‍යස්ථානයේ බොහෝ වෙළෙන්දන් සඳහන් කළේ එම වෙළඳසැල සඳහා ලැබුණු බීට් රූට් අනෙකුත් වෙළඳ සැල් වලට ලබා දී මෙසේ අලෙවි කළ බවය.

බීට්රූට් තොග පිළිබඳව සොයා බැලීම සඳහා අප ආර්ථික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී එහි බීට්රූට් තොග සියල්ල අලෙවි කොට සහ වෙළඳපොළෙන් ඉවත් කොට ඇති බවද දැනගන්නට ලැබිණි.

ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයෙකු කියා සිටියේ වෙළඳපලේ පාකිස්ථානයේ ගෙන් වා තිබූ බීට්රූට් අලෙවි කිරීම සිදු වූ බව පිළිගන්නා බවත් එම වෙළද සැලට ගොස් විමසීමේදී ඒවා නුවර එළියෙන් ගෙන්වා ඇති බව පැවසු බවය. එහෙත් ඒවා නුවරඑළියේ නොවන බව බැලු බැල්මට දැනගැනීමට හැකි නිසා ඔවුන්ට අවවාද කළ බව ද ඔහු කිවේය .

දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ය . බී. ඒකනායක මහතා කියා සිටියේ තමන් මේ පිළිබඳව දැනුවත් වී නැති බවය. එම අවස්ථාවේදීම තවත් වෙළෙන්දන් කිහිප දෙනෙකුගෙන් දුරකථනයෙන් විමසීමේදී ආර්ථික මධ්‍යස්ථානයට බීට් රූට් පාකිස්ථානයෙන් ගෙන්වා අලෙවි කළ ඇති බව අනාවරණය කරගැනීමට ඔහුට හැකි විය.

එමෙන්ම ඔහු කියා සිටියේ මෙම බීට්රූට් තොග අර්තාපල් අස්සේ පාකිස්තානයෙන් ගෙනැවිත් අලෙවි කිරීම් සම්බන්ධයෙන්යෙන් වගකීම් රේගුව භාර ගත යුතු බවය.

නීතිය අනුව එළවළු වර්ග මේ ආකාරයෙන්  ගෙන්වීමට හෝ අලෙවි කිරීමට නොහැකි බවද සභාපතිවරයා සඳහන් කළේය. මෙම බිට් රූට් ගෙන්වූ බව කියන ව්‍යාපාරික ස්ථානයේ ගබඩාව පරික්ෂා කිරීමේ දී එහි බීට්රූට් දැක ගැනීමට නොහැකි වූ අතර ඔවුන් කියා සිටියේ  නුවරඑළිය ප්‍රදේශයෙන්   රැගෙන ආ බවය.

කෙසේ වෙතත් ආර්ර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ බොහෝ දෙනෙකු කියා සිටියේ වෙළඳපොළේ සතියකට වැඩි කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස පකිස්ථානයෙන් ගෙන්වූ බීට්රූට් අලෙවිය  සිදු වූ බවය.‍

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි බොහෝ වෙළඳුන් මෙන්ම ගොවි ජනතාවද මේ   සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් ප්‍රකාශ කළේ පාකිස්ථානයෙන් එළවළු ගෙන්වා මේ ආකාරයෙන් අලෙවි කිරීම් පිළිබඳව සොයා බැලීම්ක් සිදු කළ යුතු බව ය. වහාම මෙම කටයුතු නවතා නොදැමුවහොත් දේශීය ගොවියාට බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවන බවද ඔවුන් සඳහන් කර සිටියහ.

වෙළදපළේ මෙම පකිස්ථානයෙන් ගෙන්වූ බිට් රූට් ගොඩ ගසා තිබෙන හා ශීත කළ ලොරියකින් වෙළදපළට ගෙනවිත් තිබු පින්තුර ලබාගෙන වෙළෙන්දෝ අප වෙත ඒවා තිබිණි.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Related Posts