රුසියාවෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ පරිත්‍යාගයක්

Spread the love

බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා රුසියානු රජය මගින් රුපියල් මිලියන 302 ක් වටිනා යන්ත්‍ර සූත්‍ර හා උපකරණ තොගයක් ඊයේ (03 නොවැ.) මෙරටට පරිත්‍යාග කරන ලදී.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ව්ලැඩ්මීර් පී.මික්හේලෝව් මහතා ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒවා බාරදෙනු ලැබීය. එහිදී රාජපක්ෂ මහතා විසින් එම යන්ත්‍ර හා උපකරණ තොගය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා වෙත ලබා දුන්නේ ය. බිම් බෝම්බ ඉවත් කිරීමට යොදා ගන්නා, එම්.වී.වර්ගයේ යන්ත්‍ර හතරක් පුද්ගල ආරක්ෂක ඇඳුම් කට්ටල සියයක්, එම හිස් පලඳනා සියයක් හා වෙනත් අත්‍යවශ්‍ය උපකරණ සියයක් මෙම පරිත්‍යාග කළ යන්ත්‍ර හා භාණ්ඩ තොගයට අයත් වේ.

එහිදී අදහස් දැක්වූ රුසියන් තානාපති ව්ලඩ්මීර් පී.මික්හේලෝව් මහතා ශ්‍රී ලංකාවේ කලක් පැවැති ත්‍රස්තවාදය නැතිකරමින් පවතින රජය සිදුකළ මෙහෙය ඉතා අගනා බවද නැවත පදිංචි කිරීම් සඳහා දැනට සිදු කරන ආරක්ෂාව ස්ථාපිත කිරීමේ කටයුතු සඳහා උපකාරයක් ලෙස තම රජය මේ පරිත්‍යාගය සිදුකරනු බවද සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව හා රුසියානු රජයේ මිත්‍රත්වය වර්ධනය සඳහා මින් ඉදිරියට ද මෙවැනි පරිත්‍යාග හා උපකාර කිරීමට රුසියානු රජය සූදානමින් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

RSL

Related Posts