රසායනික පොහොර තහනම රිවස් කිරීමට සමග එළවළු සැපයුම වැඩි වුණේ කොහොමද ?

Spread the love

එළවළු මිල ගණන් ඉහළ යාම, සැපයුම සීමා වීම සහ නිෂ්පාදනවල ගුණත්වය පහළ යාම පසුගිය සති කිහිපය පුරාම ජනමාධ්‍යවල, සමාජමාධ්‍යවල මෙන්ම දේශපාලන වේදිකාවේ, පාර්ලිමේන්තුවේ පමණක් නොව ජනතාව එක්වන සෑම තැනකම සුලභ ප්‍රශ්නයක් බවට පත්ව තිබුණා. ඒ අතරේ අවස්ථාවාදී වූ ආපනශාලා හිමියන්ගේ සංගමයත් බත් පැකැට්ටුවේ, කොත්තු රොටියේ මිල ඉහළ දැම්මා.

මේ මිල ඉහළ යාම සාධාරණීකරණය කරමින් ඔවුන් පෙන්වා දුන්නේ ‘එළවළු ගිනි ගන්න නිසා මිල ඉහළ නොදා බෑ‘ යන්නයි.

නොවැම්බර් – දෙසැම්බර් මාසයේ සිදුවන මේ මිල ඉහළ යාම සෑම වර්ෂයකම සිදුවන සාමාන්‍ය දෙයක් බව මේ ආර්ථික මධ්‍යස්ථාන පාලනාධිකාරිය, විශේෂඥයින් සහ විෂයභාර ඇමැතිවරයා කොපමණ පැහැදිලි කළත් කිසිවෙක් ඊට කන් දුන්නේ නැහැ. ඔවුන් එක හඩින් කියා සිටියේ ‘ආණ්ඩුවේ රසායනික පොහොර තහනම නිසා ගොවීන්ගේ නිෂ්පාදන දැවැන්ත ලෙස පහළ ගොස් ඇති අතර ඒවායේ ගුණත්වය (ප්‍රමාණය) විශාල ලෙස පහළ ගොස් ඇති බවයි.

මේ මිල ඉහළ යාම ගැන දශක හතරක පමණ කාලයක සිට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල තොරතුරු එක්රැස් කිරීම හා විශ්ලේෂණය කරන ප්‍රමුඛ රාජ්‍ය ආයතනය වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මෙසේ සදහන් කළා.

‘හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දත්තවලට අනුව, මේ වසරේ ජනවාරි මාසයට සාපෙක්ෂව නොවැම්බර් මාසයේ දී සහල් හා එළවළු වර්ගවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. යල කන්නයේ අස්වනු නෙලීම අවසන් වීමෙන් පසුව ද එළවළු සැපයුම සීමිතවීම, සහ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එළවළු වර්ග බොහෝමයක් මිල ගණන් කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණු බවට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි‘ යනුවෙන් බී.බී.සී සන්දේශය  වෙබ් අඩවිය පසුගියනොවැම්බර් 23 වැනිදා දීර්ඝ විශ්ලේෂණයක් කරමින් සදහන් කළා.

මේ සියලු විද්‍යාත්මක විශ්ලේෂණ පහසුවෙන් බැහැර කළ ව්‍යාපාරිකයින් සහ විපක්ෂ ගැති මාධ්‍ය ‘දෙසැම්බර් වන විට එළවළු කිලෝවක් රුපියල් 500කටත් ගන්න බැරි වෙයි‘ පසුගිය දිනවල ව්‍යාපාරිකයින් අනාවැකි පළ කළා.

මේ පුවත සනාථ වන පැහැදිලි වාර්තාවක් පසුගිය 22 වැනි දා ජනමාධ්‍ය මේ ආකාරයෙන් වාර්තා කළා.

‘‘නුවරඑළිය ඇතුළු උඩරට ප්‍රදේශවලින් අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු   තොග ලැබීමේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වුව ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (22) දින අළුයම කැරට්, ලීක්ස්, බෝංචි, අර්තාපල් වැනි එළවළු සීමිත ප්‍රමාණයක් ලැබී තිබුණු බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. ලැබී තිබුණු සීමිත තොග සඳහා ඉහළ මිලක් පැවති නමුත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළෙඳුන්ගේ පැමිණීම අඩු වී ඇතැයි නුවරඑළියේ සිට එළවළු දඹුල්ලට රැගෙන ආ අතර මැදි වෙළෙන්දෝ පවසති.අද දින අළුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලීක්ස්  කිලෝව රුපියල් 390-420ත් අතර මිලක් පැවති අතර කැරට් කිලෝවක් රුපියල් 240 සිට රුපියල් 300 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි විය. ඇතැම් ගොවීන් කියා සිටියේ නුවරඑළිය  දීස්ත්‍රික්කයේ  එළවළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන වලට  ප්‍රවාහනය කිරීම සීමා කොට තිබුණද ඒවා නිෂ්පාදනය  කළ ගොවීන්ගේ ඉල්ලීම් මත  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වලට රැගෙන ආ බවය. නුවරඑළිය ප්‍රදේශයේ වගා කෙරෙන ලීක්ස් සහ කැරට් ආදී එළවළු වල ගුණාත්මක භාවය අඩු වී ඇතැයි එම ගොවීන් පෙන්වා දුන් අතර ඔවුන් කියා සිටියේ වෙනදා මෙන් නොව ලීක්ස්, කැරට් හා අර්තාපල්  ප්‍රමාණයෙන් ඉතා කුඩා බවය. එමෙන්ම  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටී ගොවීන් රැසක්  කියා සිටියේ එළවළු වගාව සඳහා අවශ්‍ය තෙල් පොහොර නොමැතිවකම මෙන්ම වර්ෂ අවසානයේ දී පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා එළවළු හිඟ වීම සාමාන්‍යයෙන් සිදුවන බවය‘

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිත වාර්තාකරණයේ යෙදෙන ප්‍රමුඛ මාධ්‍යවේදියෙක් වන කාංචන කුමාර ආරියදාස මහතා විසින් ලබා දුන් වාර්තාව අදාළ ජාතික මාධ්‍යවලින් උපුටා ගෙන බොහෝ මාධ්‍ය විශේෂයෙන් අන්තර්ජාල අඩවි මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නා. එහි දී ගුණත්වයෙන් අඩු එළවළු වල ඡායාරූප පළ කිරීමට ද මෙම මාධ්‍ය පියවර ගත්තා.

නොවැම්බර් 22 වැනිදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ලැබුණු ගුණත්වයෙන් තොර එළවළු තොග පෙන්වන ගොවි මහතුන්

මේ කතා සහ ඡායාරූප දුටු විගය ඕනෑම අයෙකු භීතියට පත්වීම නිසැකව සිදුවන්නක් බව බැලූ බැල්මට  පැහැදිලි වුණා.

දඹුල්ල සහ සෙසු ආර්ථික මධ්‍යස්ථාන ඇසුරින් සිදු වූ මෙම වාර්තාකරණය සමග දිවයින පුරා තොග සහ සිල්ලර වෙළෙද සැල්වල එළවළු හිතූ හිතූ ගණන්වලට අලෙවි කිරීම සිදු වුණා.

බොරදියේ මාළු බෑම

මේ අතර බොරදියේ මාළු බෑමට සූදානම් වෙමින් ආපනශාලා හිමියන්ගේ සංගමය ද පසුගිය 22 වැනිදා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අඛණ්ඩව ඉහළ යන එළවළු මිල ගණන් හමුවේ බත් පාර්සලයේ, කොත්තු රොටියේ සහ ප්‍රයිඩ් රයිස්වල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව නිවේදනය කළා.

තම මිල ඉහළ දැමීම සාධාරණීකරණය කරමින් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මෙසේ ප්‍රකාශ කළ බව එදින (22) ජනමාධ්‍ය වාර්තා කළා.

‘‘එළවළු සහ ඒ ආශ්‍රිත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි දිවා ආහාර පැකට්ටුවක සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ (AICOA) ප්‍රධානී අසේල සම්පත් මහතා පවසයි. ඒ අනුව එළවලු බත්වල සිට ෆ්‍රයිඩ් රයිස් දක්වා මිල රුපියල් 20කින් ඉහළ යනු ඇති අතර ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ප්ලේන්ටි කෝප්පයක මිල රුපියල් 05කින් ඉහළ යාමට නියමිතය.අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ආපනශාලා හිමියන්, හෝටල් කර්මාන්තය සහ පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

“එළවළු දවල් කෑම පැකට්ටුවක් රුපියල් 160යි, මාලු දවල් කෑම පැකට්ටුවක් රුපියල් 200යි, කුකුල් මස් මිල වැඩි නිසා කුකුල් මස් සහිත දිවා ආහාර පැකට් එකක් රුපියල් 250ක උපරිමයකට විකුණනවා. කොත්තු රොටිවල මිලත් වැඩි කරනවා.වෙළෙඳපොළේ කැරට්, ලීක්ස් වැනි ප්‍රධාන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා ෆ්‍රයිඩ් රයිස් මිල ඉහළ දැමීමට සිදු වුණා. මිල වැඩි නොකළහොත් අපේ කර්මාන්තය කඩා වැටෙනවා. එසේ වුවහොත් රට පුරා තිබෙන සියලුම හෝටල් ඉතා ඉක්මනින් බංකලොත් වී ව්‍යාපාරිකයින් දස දහස් ගණනක් මහ පාරට වැටේවි‘ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවා.

එළවළු මිල පහළට – සැපයුම ඉහළට

මේ ආකාරයෙන් එළවළු මිල ඉහළ යාමට රසායනික පොහොර තහනම ඍජුව සම්බන්ධ කරමින් බිල්ලෙක් මවමින් දැවැන්ත ප්‍රචාරයක් ගෙන යාම හේතුවෙන් සමාජය තුළ ඇති වූ කම්පනය සහ ගැටලු නිමක් නැහැ. විශේෂයෙන් පාරිභෝගික ජනතාව සහ ගොවි ජනතාව මේ ප්‍රචාරණය හමුවේ දැඩිව පීඩාවට පත් වුණ අතර රජය සහ විෂයභර අමාත්‍යවරයා ද දැඩි පීඩනයකට ලක් වුණා.

මේ අතර ආර්ථික සහ වෙළෙදපොළ විශේෂඥයින් පසුගිය සතියේ පළ කළ අනාවැනි සැබෑ කරමින් ඊයේ (27) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු සැපයුම ඉහළ ගිය අතර ඉහළ ගුණත්වයෙන් යුතු එළවළු තොග ඒ වෙත ලැබුණා. ඒ සමග එළවළු මිල ගණන් විශාල ලෙස (රුපියල් 100-150) පහළ ගියා.

මේ ගැන ඊයේ (27) විශේෂ වාර්තාවක් නිකුත් කරමින් කාංචන කුමාර ආරියදාස (දඹුල්ල වාර්තාකරු) මෙසේ ප්‍රකාශ කළා.

‘දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින ගණනාවකින් පසුව වැඩි වශයෙන් එළවළු ලැබීමත් සමඟ අද (27) දින එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහත වැටී ඇතැයි වෙළඳ ව්‍යාපාරිකයෝ පවසති. කන්ද උඩරට ප්‍රදේශය වලින් ලැබෙන මෙන්ම පහතරට ප්‍රදේශ ප්‍රදේශ වලින් ලැබෙන එළවළු  ප්‍රමාණය ද දිනෙන් දින වැඩි වීම්ත් සමඟ එළවළු කිලෝ එකක මිල රු රුපියල් 100 ත් 150 ත් අතර ඉහළ අගයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි. ඉකුත්  සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, ලීස්, බෝංචි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල්  450, 500 අතර ඉහළ අගයක් ගෙන තිබුණද අද දින උදෑසන වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එම එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 150 ත් 200 ත් අතර පහත වැටී ඇති බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

එමෙන්ම පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. ඇතැම් කැරට් අල විශාල වශයෙන් පෙනුමක් ඇති බවත් එළවළු වර්ග ද  බොහොමයක් ඉතා අනර්ඝ තත්ත්වයේ එළවළු බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන අතර එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමත් සමග එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන බොහෝ වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවීමක් දක්නට තිබෙන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති‘‘

මාෆියාවක් ද ? කඩාකප්පල්කාරී වැඩක් ද ?

දීර්ඝ කාලයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇසුරින් වාර්තාකරණයේ යෙදෙන කාංචන කුමාර ආරියදාස මෙහිදී වැදගත් සටහනක් ද තබා තිබෙනවා. ඒ, ‘‘..පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. ඇතැම් කැරට් අල විශාල වශයෙන් පෙනුමක් ඇති බවත් එළවළු වර්ග ද  බොහොමයක් ඉතා අනර්ඝ තත්ත්වයේ එළවළු බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති‘ යන සටහනයි !

මාස 07ක ආසන්න කාලයක් පුරා පැවැති රසායනික පොහොර තහනමට එරෙහිව ඉතාම සංවිධානාත්මක ව්‍යාපාරයක් සහ කුමන්ත්‍රණයක් ගෙනගිය බව අප කිසිවෙකුට රහසක් නොවෙයි. ඒ ව්‍යාපාරය පිටුපස රසායනික පොහොර ගෙවන්වන දැවැන්ත බහුජාතික සමාගම් සහ ඔවුන්ගෙන් යැපෙන විද්වතුන්, පර්යේෂකයින් සහ මාධ්‍යෙව්දීන් සේම විපක්ෂ දේශපාලනඥයින් ද නොඅඩුව සිටියා. ඔවුන් ගොවි උද්ඝෝෂණ සංවිධානය කරමින් 2021/22 මහ කන්නයට සැරසෙන වී ගොවීන් අධෛර්යමත් කරන ගමන් එළවළු ගොවීන් ද අධෛර්යමත් කිරීමට නොකළ දෙයක් නැති තරම්. ඒ අතර එළවළු හිගයක්, ගුණවත්වයෙන් තොර එළවළු සැපයුමක් කරමින් පාරිභෝගික ජනතාව අතර ද කම්පනයක් ඇති කිරීමට මේ සංවිධානාත්මක මාෆියාව පියවර ගත්තා. ඒ සියලු සැලසුම්වල ඒකායන අරමුණ වුණේ රජයේ කාබනික පොහොර වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සහ ආණ්ඩුව බිද දැමීම හෝ ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය තීව්‍රර කිරීමයි.

ඊයේ (27) දඹුල්ලට ලැබුණු කැරට් අල

මාෆියාව මෙතැනින් කොතැනටද ?

ඊයේ (27) සහ අද (28) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ලැබෙන වාර්තා පැහැදිලිව සදහන් කරන්නේ එළවළු මිල සැලකිය යුතු පහළ ගොස් ඇති අතර එළවළු වල ගුණත්වය ද පෙර සේ පවතින බවයි. මෙය යහපත් පුවතක් වුවත් අපට පැනනගින ප්‍රශ්නය වන්නේ මෙවැනි අස්වැන්නක් රසායනික පොහොර තහනම සංශෝධනය සමග දඹුල්ලට පැමිණියේ කෙසේද ? යන්නයි.

මීට දින කිහිපයකට පෙර දකින්නට ලැබුණු මන්දපෝෂිත කැරට්, ලීක්ස් සහ ගෝවා, අර්තාපල් වෙනුවට අද අපට හුරු පුරුදු ආකර්ෂණීය එළවළු දඹුල්ලට ලැබුණේ කෙසේද ? යන්නයි.

මේ අතර අද (28) දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස තවත් සුවිශේෂ පුවතක් හෙළි කර තිබෙනවා.

‘…දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  එළවළු මිල අඩුවීම පිළිබඳව මාධ්‍ය වලින් ප්‍රචාරය වීමත් සමග තමන්ට විශාල අසාධාරණයක් සිදු වූ බව පවසමින් අද  (28) උදෑසන එළවළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක් ගොවීන්ට සහ ජනමාධ්‍යවේදීන්ට ද බලපෑම් එල්ල කරන්නට වූහ. පසුගිය සතියට සාපේක්ෂව විශාල වශයෙන් එළවළු තොග මිල අඩුවීම සහ එළවළු මිල දී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගෙ අඩුවීම පිළිබඳව මාධ්‍යවේදීන් උදෑසන ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් විමසීමක් සිදු කරමින් සිටියදී  සංවිධානාත්මක පැමිණි මෙම කණ්ඩායම ගොවි මහතුන්ට සහ එළවළු රැගෙන එන පිරිසට දැඩි ලෙස චෝදනා කරමින් කියා සිටියේ එළවලළු මිල අඩු වූ බව ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කිරීමත් සමග තමන්ට එළවලු  අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවය‘‘

‘‘….එම පිරිස ඉතා   සංවිධානාත්මකව එළවළු මිල  පහත වැටීම  සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් සිදුකරන ප්‍රචාරයන් නවත්වා ගැනීම අරමුණ බවට පත්ව තිබේ .කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන  කළමණාකරන භාරය  මඟින් දිනපතා නිකුත්කරන එළවළු කිලෝවක තොග මිල පිළිබඳව  අප අවධානය යොමු කළෙමු .එහෙත් මෙම වෙළෙඳ ව්‍යාපාරිකයන් බව පැවසූ පිරිස කියා සිටින්නේ ආර්ථික මධ්‍යස්ථාන කළමණානාකරණ භාරය නිකුත් කරන මිල දර්ශනය ද නිකුත් නොකළ යුතු බවත් එම  මිල දර්ශනය ද  පිළිගැනීම්ට නොහැකි බවත් තවත් පිරිසක් කැෑකෝ ගසමින් කියන්නට විය. කෙසේ වෙතත් ගොවීන් සහ තවත් කණ්ඩායම් පැමිණ මෙයාකාරයෙන් කෑ කෝ  ගැසීමෙන් පලක් නැති බව පැවසීමත්   සමග එම පිරිස ගොවි මහත්තුරුන්ට සහ ජනමාධ්‍යවේදීන්ට බැන වදිමින් එම ස්ථානයෙන් පිටව යන්නට වූයේ තමන්ගේ අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වීම නිසාවෙනි‘‘

ජනමාධ්‍යෙව්දීන්ට හා ගොවීන්ට තර්ජන කරන ව්‍යාපාරිකයින්

පසු සටහන

මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කතාව පමණයි. ඒත් මේ කතාව රට පුරාම එළවළුවලට පමණක් නොව සෙසු භාණ්ඩවලට ද සිදුවන බව ඉතාම පැහැදිලි කරුණක්. ඒ නිසා ජනතාව දැන් ආපනශාලා හිමියන්ගේ සංගමයට දැනුම් දිය යුත්තේ එළවළු මිල ගණන් ඉහළ යාම දඩමීමා කර ගනිමින් පසුගිය 22 වැනි දා ඉහළ දැමූ මිල ගණන් වහාම පහළ දමන ලෙසයි.

එසේම එළවළු ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අදිසි මාෆියාව සහ කුමන්ත්‍රණය ගැන ද ජනතාව මීට වඩා සංවේදී විය යුතු බව අපගේ අදහසයි.

සටහන – තුෂාර වල්ගම – ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Related Posts