රසායනික පොහොර තහනමේ ගැසට් එකත් රිවස් කරයි

Spread the love

රසායනික පොහොර ආනයනය මුළුමනින්ම තහනම් කරමින් ආණ්ඩුව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ලිහිල් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අංක 2238/45 දරණ නව නිවේදනයක් නිකුත් කර තිබේ.

යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය අද (03) නිකුත් කරනු ලැබීය.

යූරිය ඇතුළු නයිට්‍රේට මිශ්‍රණ, කැල්සියම් කාබනේට් හෝ වෙනත් අකාබනික නොවන පොහොර, සුපර් පොස්පේට් සහ නයිට්‍රජන්, පොටෑසියම්, පෝස්පේට් යන මූලද්‍රව්‍ය දෙකක් හෝ තුනම අඩංගු පොහොර වර්ග ගෙන්වීම සඳහා බලපත්‍රලාභීන්ට මේ අනුව අවසර හිමිවේ.

කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සපයන ලද නිර්දේශ අනුව මෙම පියවර ගත් බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව කියයි.

ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සකසන ලද ශාක පෝෂක ආනයනය කර ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ යෝජනාවට අනුව මෙම තීරණය ගත් බව ද ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනය අංක 2226/48 දරන ගැසට් පත්‍රය මගින් තහනම් කර ඇතත් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ ආනයනය කරන බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව කියයි.

කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව තහනම් කර තිබිණි. ඒ අනුව හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගණයට ගැනෙන භාණ්ඩ ආනයනය තවදුරටත් නියාමනය කරන බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පවසයි.

Related Posts