රන්ජන් වෙනුවට ගම්පහින් අජිත් මාන්නප්පෙරුම එයි

Spread the love

සමගි ජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය.

නීති උපදෙස් ලබා ගැනීමෙන් පසු මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇති බව ද කතානායකවරයා ප‍්‍රකාශ කළේය.

කතානායකවරයා විසින් රන්ජන් රාමනායක මහතාගේ මන්ත‍්‍රීධුරය අහෝසි කරන ලද බව ප‍්‍රකාශ කිරීම සමග පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර විපක්ෂයේ මන්ත‍්‍රීවරු සිය විරෝධය පළ කිරීමට සභා ගැබට පැමිණියහ. මේ සමග ආණ්ඩු පක්ෂයේ පිරිසක් ද සභා ගැබට පිවිසීම සමග දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. දෙපිරිසම මුහුණ ආවරණ ඉවත්කර සමාජ දුරස්ථභාවය ගැන කිසිම අවධානයක් යොමු නොකර සිටිනු මෙහිදී දැකගත හැකි විය.

රන්ජන් රාමනායක මහතා තම මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිය ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය පෙරේදා (05) නියෝග කළේය.

මේ අතර රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන පෙරමුණේ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

පසුගිය 2020 වසරේ පැවැති මහ මැතිවරණයේදී අජිත් මාන්ප්පෙරුම මහතා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපෙක්ෂක ලයිස්තුවේ රන්ජන් රාමනායක මහතාට පසුව ඊළගට වැඩි මනාප සංඛ්‍යාවක් ලබගත් අතර ඔහු විසින් මනාප 47,0212ක් ලබා ගත්තේය.

Related Posts