රටේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස බිඳවැටෙමින් පවතිනවා – කරූ ජයසූරිය

Spread the love

රටේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස බිඳවැටෙමින් තිබෙන බව යළිත් සිහිපත් කරන්නට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කරූ ජයසුරිය පෙන්වා දෙන්නේ ඊයේ අයවැය ඉදිරිපත් කරද්දී විපක්ෂය පාර්ලිමේන්තුවේ කළ සාමකාමී විරෝධයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැක්වූ ප්‍රතිචාරය හා පහරදීම ඊට අලුත්ම උදාහරණය බවය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල කළේ රටේත් එක්සත්  ජනතා නිදහස් සන්ධානයේත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේත් නායකයාවන ජනාධිපතිවරයා ඉදිරියේ බව ද එම නිවේදනයේ දැක්වේ.

කරූ ජයසූරිය මහතා පවසන්නේ මෙය ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය මිස, ඉඩි අමින්ගේ බොකාසාගේ හෝ කර්නල් ගඩාෆිගේ ආකාරයේ පාලනයක් පවතින රටක් නොවන බවය. මේ අතර විපක්ෂය ආණ්ඩුවට ශක්තිමත් ලෙස අවශ්‍ය තැන්වලදී විරෝධය පළ කළයුතු යැයි ආණ්ඩුවේ නායක කාරකාදීන් පවසන බව ද කරූ ජයසූරිය මහතා විසින් සිහිපත් කර තිබේ. විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී දක්වන විරෝධයකට ආණ්ඩුවේ ප්‍රතිචාරය වන්නේ පොත්පත්වලින් අතින් පයින් පහරදීම නම්, විරුද්ධ මතයක් දරන විපක්ෂයක් උවමනා බවට ආණ්ඩුව කරන ප්‍රකාශය කොතරම් අවංක හා සද්භාවයෙන් යුතු එකක් දැයි අමුතුවෙන් වටහා දිය යුතු නැති බව ද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයාගේ නිවේදනයේ සඳහන්ය. මෙරට පවතින්නේ රාජාණ්ඩුවක් නොවන බව සිහිපත් කර ඇති කරූ ජයසූරිය මහතා සඳහන් කර ඇත්තේ ආණ්ඩුවේ මෙම ප්‍රතිපත්තියට එරෙහිව දැඩි ක්‍රියමාර්ග ගැනීමට පසුබට නොවන බවය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බහුතරයක් ලබා ඇති ආණ්ඩුවට, දේශපාලන බලහත්කාරය මගින් විපක්ෂයත් ආණ්ඩුවට එරෙහි ජනමතයත් යටපත් කිරිමට ඉඩදිය නොහැකි බව ද ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
 

RSL

Related Posts