ජනවාරි 2 දා සිට යේමනයේ හවුති කැරලිකරුවන්ගේ ග්‍රහනයේ සිටි ඉන්දීය නාවිකයින් හත් දෙනෙකු සහ ඔවුන්ගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජය සහිත වෙළඳ නෞකාව වන රවාබී සමඟ නිදහස් කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේය.

රවාබී නෞකාවේ සිටි ඉන්දීය නාවිකයින් නිදහස් කර ගැනීමට පහසුකම් සැලසීම සඳහා අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය සමඟ සම්බන්ධ විය.

පසුගිය මාස තුනක කාලය තුළ ඉන්දීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය රජය සියලු උත්සාහයන් දරමින් සිටියේය. මෙම කාලය තුළ නාවිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා විවිධ පාර්ශවයන් සමඟ සම්බන්ධ වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නාවිකයින් අප්‍රේල් 24 වන දින ඕමානයේ මස්කට් වෙත ළඟා වූ අතර ඉක්මනින් ඉන්දියාවට ඒමට අපේක්ෂා කෙරේ.

“ඉන්දියානු නාවිකයින් නිදහස් කිරීම සම්බන්ධයෙන්, විශේෂයෙන් ඕමාන් රජයට, ඉන්දීය රජය අදාළ සියලු පාර්ශ්වයන්ට ස්තූති කිරීමට කැමතියි”, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

හවුති පාලනය යටතේ පවතින යේමනයේ අගනුවර වන සානා නුවරින් නිදහස් කළ විදේශිකයන් 14 දෙනා අතර ඉන්දීය ජාතිකයන් හත් දෙනෙකු ද සිටින බව ඕමානයේ විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිඩි මීට පෙර තහවුරු කර තිබිණ.

ඔවුන් සියලු දෙනාම මේ වන විට නිරුපද්‍රිතව ඕමානයේ භාරයේ සිටින බවද ඔහු පවසා තිබුණි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්