යුරියා නැතිව තෘණබිම් විනාශයි – දේශීය කිරි කර්මාන්තයත් කොටඋඩ

Spread the love

යූරියා නොමැතිකම නිසා ජාතික පශු සම්පත් මණ්ඩලයේ තෘණ භූමි විනාශවීමේ බරපතළ අවදානමක් මතුවී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා කියයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැහැදිලි කරමින් මාගමගේ මහතා පැවසුවේ යූරියා නොමැතිකම නිසා ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් තෘණබිම් හෙක්ටයාර් 4000ක් පමණ අර්බුදයකට ලක්ව ඇති බවයි.

‘තෘණ සහ සෝගම් අස්වැන්න මෙලෙස අඩුවීම නිසා කිරි එළදෙනුන්ට සහ ගවයන්ට ප්‍රමාණවත් පරිදි ආහාර සැපයීමද බරපතළ ප්‍රශ්නයක්ව තිබෙනවා. සෝගම් අස්වැන්න දින 70 කින් කැපීමෙන් පසු නැවත දළු ලෑම සඳහා ඊට යූරියා ඉසිය යුතුයි. යූරියා වෙනුවට කාබනික පොහොර ඉසීමෙන් අපේක්ෂිත අස්වැන්න ලබා ගත නොහැකියි. ඒ වගේම පශු සම්පත් මණ්ඩලය සතු නුවරඑළිය සීතාඑළිය ප්‍රදේශයේ බීජ අර්තාපල් නිෂ්පාදනය කිරීමේ කටයුතු ද දිලීරනාශක හිඟය නිසා බෙහෙවින් අඩාලවී තිබෙනවා‘ යැයි ද සභාපතිවරයා පැවසුවේය.

මේ අතර පුද්ගලික තණබිම් පවත්වා ගෙන යන කිරිගව හිමියන් ද අප හා පැවසුවේ මේ වන විට තමන් සතු තෘණ බිම් විශාල ප්‍රමාණයක් අතහැර දැමීමට සිදුව ඇති බවයි.

‘මේක බරපතළ තත්ත්වයක්. කිරි ගවයන්ට නිසි පෝෂණයක් ලබාදිය යුතුයි. ඒත් තෘණබිම් නැතිව ඒක කරන්න බැහැ. මෙහෙම ගියොත් දේශීය කිරි සැපයුමත් දැඩි ලෙස සීමා වී මේ කර්මාන්තයත් විනාශ විය හැකියි. පුදුමය කියන්නේ මේ ගැන කිසිවෙක් අවධානය යොමු නොකිරීමයි‘

Related Posts