යාපනයේ එළවළු තොග ලැබෙයි – දඹුල්ලේ එළවළු මිලේ දැවැන්ත පහළ යාමක්

Spread the love

යාපනය අර්ධද්වීපයේ වගා කරන ලද බීට් රූට් වල අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම්ත් සමඟ බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් 100 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති.

පසුගිය මාසයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බීට් රූට් කිලෝවක තොග මිල රුපියල් 350ක පැවති අතර 05 දින වන විට යාපනයේ බීට්රූට් ලැබීම නිසා කිලෝවක තොග  මිල රුපියල් 250 දක්වා පහත වැටී තිබේ. ඊට සමගාමීව ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන අනෙකුත් එළවළු වර්ග වල ද වැඩි වීම්ත් සමග එළවළු මිල සියයට 40කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙඳුන් පෙන්වා දෙති.

පසු ගිය මාසයේ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබුණු සෑම එළවළුවක්ම පාහේ කිලෝවක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි.

යාපනය  චුන්නාගම් ප්‍රදේශ්යේ සිට දඹුල්ලට බීට් රූට් ඇරගෙන එන ‘යාපනයේ ගොවි රජා’ නමින් හඳුන්වන කන්දයියා ත්‍යාග ලිංගම් මහතා කියා සිටියේ වෙනදාට වඩා අඩු වශයෙන්  යාපනයේ එළවළු වගා කර ඇති බවය.

බීට් රූට්  මෙම මිල යටතේ පැවතිය හොත් ගොවීන්ට සාධාරණ මිලක් හිමිවන බව ද ඔහු සඳහන් කළ අතර යාපනයේ ගොවීන් තම බීට්රූට් අස්වැන්න නෙළන අවස්ථාවේදී පාකිස්ථානයෙන් මෙරටට හොර රහසේ බීට්රූට් ගෙන්වීම නවතා දෙන්නැයි හෙතෙම බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

රසායනික පොහොර මිල ඉහළ යෑම පිළිබඳව අදහස් පළ කරමින් යාපනයේ ගොවිරජා කියා සිටියේ යාපනයේ යූරියා මිටියක් රුපියල් 30,000කට අලෙවි වෙන බවත් වෙනදා එළවළු වගාවට දැමූ ගොම පොහොර පවා විශාල මිල ඉහළ යමින් තිබෙන නිසා බොහෝ ගොවීන් වැඩි වශයෙන් වගාවට යොමු නොවන බවයි‍.

ඉදිරි දින කිහිපයේ යාපනය අර්ධද්වීපයේ එළවළු අස්වැන්න නෙළලීම ආරම්භ කරන නිසා එළවළු මිල යම් මට්ටමකින් පහත වැටිය හැකි බව වෙළෙන්දෝ අනාවැකි පළ කරති.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි, කැරට්, ලීක්ස්, බීට්, වට්ටක්කා, වම්බටු, පතෝල, මෑ කරල් ආදී සෑම එළවළුවක්ම ඉකුත් සතියට වඩා කිලෝවක් රුපියල් 50  80ත් අතර මිල පහත වැටීමක් ඇතැයි වෙළඳ ප්‍රජාව  පෙන්වා දෙති.

දවසින් දවස මිල උච්චාවචනය වීම නිසා සාමාන්‍ය වෙළෙන්දාට මේවා අරගෙන ගොස් අලෙවි කිරීම්ට නොහැකි වී ඇතැයි  සංචාරක වෙළෙන්දෝ පවසති. ආර්ථික   මධ්‍යස්ථානයට එළවළු ලැබීම් හා ඉල්ලුම මත මොහොතින් මොහොත මිල වෙනස් වන බවද ඔවුහු පවසති.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

 

Related Posts