මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට

Spread the love

මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් වෙයි. එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  අතර අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.

කන්නි විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි.

2021 තිරසර සංවර්ධන වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව අගයන් හතකින්  ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකාව, රටවල් 165ක් අතරින් 87 වන ස්ථානයට පත්ව ඇතැයි විග්නරාජා මහත්මිය පෙන්වා දුන්නාය. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කරගනිමින් හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ සඳහා විදෙස් ආයෝජකයන්ගේ ආකර්ශණය දිනාගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරිණ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ සමාජ ආර්ථික බලපෑම්වලට විසඳුම් සොයන අතරතුර, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. ඒ වෙනුවෙන් “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය” සහ “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය” ඇතුළු විධිමත් ව්‍යුහයක් සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත රොබර්ට් ජුන්කම් (Robert Juhkam), නියෝජ්‍ය නේවාසික  නියෝජිත මාලින් හර්විග් (Malin Herwig), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ

Related Posts