මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

Spread the love

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලට  යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය  ජුලි  මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඒ පිළිබඳ පත් කර ඇති  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (21) තීරණය කළේය.

ඒ අනුව අදාළ යෝජනා එදිනට පෙර ලිඛිතව දන්වා එවන ලෙස එහි සභාපති  සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ලියාපදිංචි දේශපාලන පක්ෂවලින්  ඉල්ලා සිටී.

එකී යෝජනා sec.pscelectionreforms2021@parliament.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ  ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට යොමු කළ හැකිය.

මේ වන විට මැතිවරණ හා ජන්ද විමසීම්  නීති ප්‍රතිසංස්කරණට අදාළව  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ලැබි ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 94 ක් බව එම කාරක සභාවේ ලේකම් හා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අද පැවැති කාරක සභාවේ රැස්වීමේදී සඳහන් කළාය.

මෙම කාරක සභා රැස්වීමට කැබිනට් අමාත්‍යවරුන් වන  නිමල් සිරිපාල ද සිල්වා,  මහාචාර්ය ජී. එල්. පීරිස්, පවිත්‍රාදේවි වන්නිආරච්චි, එම්. යූ. එම්. අලි සබ්රි, යන මහත්ම මහත්මීන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන අනුර දිසානායක,කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ද සහභාගි වූහ.

සිදු කෙරෙන මැතිවරණ හා ඡන්ද විමසීම් ප්‍රතිසංස්කරණ මිශ්‍ර ජන්ද ක්‍රමයට අනුව සිදුකිරීමට කාරක සභාව එකඟ විය. එම මූලධර්මය පදනම් කරගනිමින් පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රමයේ වෙනස්කම් සිදු කිරීම සඳහා ඉදිරි සාකච්ජා පැවැත්වීමටද එහිදී එකඟතාව පළවිය.

කාරක සභාව හමුවේ සාක්ෂි සහ අදහස් ලබාදීමට ඉදිරි දිනකදී මැතිවරණ කොමිෂන් සභාව සහ පැෆරල් සංවිධානය කැඳවීමට කටයුතු කරන බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

යෝජනා ලබා දෙන අයගෙන් වාචික සාක්ෂි ලබා ගැනීමට කාරක සභාව අදහස් කරන්නේ නම් අදාළ පාර්ශවයන් ඒ සඳහා යථා කාලයේදී කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට කැඳවන බව ද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී කීවේය.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කාර්යභාරය වේ.

Related Posts