මැතිවරණ දිනන්න සල්ලි පොම්ප කරන්න ඕන නිසා මේ ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්නෙ නෑ

Spread the love

වත්මන් ආණ්ඩුව ණය අර්බුදය සහ විනිමය අර්බුදය විසඳාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට මෙතරම් මැලිකමක් දක්වන්නේ රට කෙතරම් ප්‍රපාතයට ගියද ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරමින් දැවැන්ත ලෙස මුදල් අච්චුගසා මැතිවරණ සඳහා මුදල් පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව මේ වනවිට දැවැන්ත ණය සහ විනිමය අර්බුදයකට මුහුණු දෙමින් සිටින බවත්  නිසි විනයකින් යුතුව මෙම ගැටලු නිරාකරණය කර නොගන්නේ නම් සමස්ත රට වැසියාගේම අනාගතය අඳුරෙන් අඳුරට වැටෙන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. වත්මන් විනිමය අර්බුදය කෙටි කාලීනව විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නැයි ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් දැඩිව අවධාරණය කරද්දී ආණ්ඩුව එයට මැලිකමක් දක්වන්නේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී මුදල් අච්චු ගසමින් දැවැන්ත ලෙස මුදල් පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යැයි මන්ත්‍රීවරයා මෙහිදී කීය.

“මෙම විනිමය අර්බුදය විසඳාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් ඉල්ලලා තියනවා වගේ අදහසක් මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළා. එවිට මහ බැංකු අධිපතිවරයා කියනවා මෙය  නිරන්තරයෙන් ලබාදෙන තාක්ෂණික සහායක් විතරයි. ඒ සහාය ලබාදෙන්නේ මුදල් අමාත්‍යංශයේ අලුතින් ආරම්භ කළ සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය ඒකකයට කියලා. ඒ කියන්නේ මේ ආණ්ඩුව රටේ අනාගතයට සුබදායක විදිහට මේ අර්බුදය කළමනාකරණය කර ගන්න මූල්‍ය අරමුදලට යෑමට දැඩි අකමැත්තක් දක්වනවා.“

“ඇයි ඒ වගේ අකමැත්තක් දක්වන්නේ? දැනටත් මේ ආණ්ඩුව දුවන්නේ සල්ලි අච්චු ගහලා. පසුගිය ජනවාරි මාසයේ ආහාර උද්ධමනය සියයට 25 යි. ජනතා උද්ඝෝෂණ එනකොට ලේසියෙන්ම කරන දේ තමයි සල්ලි අච්චු ගහලා බෙදන එක. මූල්‍ය අරමුදලට ගියොත් මේක කරන්න බෑ. මේ විදිහට සල්ලි අච්චු ගහලා රට විනාශ කරන්න එපා කියල අනිවාර්යෙන්ම මූල්‍ය අරමුදල කියනවා. ඒකයි, මේ ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්නෙ නැත්තේ. මේ ගොල්ලෝ උත්සාහ කරන්නේ තමන්ගේ බලකෑදරකමට මුළු රටම විනාශ වුණත් කමක් නෑ කියල ඉදිරි මැතිවරණ වලදී දැවැන්ත ලෙස මුදල් අච්චු ගහල මුදල් පොම්ප කරන්න. ඒ විදිහට සල්ලි බෙදල ඡන්ද දිනන්න හිතාගෙන තමයි මේ ගොල්ලෝ මූල්‍ය අරමුදලට යන්නෙ නැත්තේ.“

වත්මන් ආණ්ඩුව මෙම විනිමය අර්බුදය විසඳාගැනීමට එක් එක් රටවලින් අතමාරු ණය ලබාගැනීම විසඳුමක් නොවන බවත් මේ අර්ථයෙන් බැලූවිට ලංකාව දේශපාලන අවස්ථාවාදයේ ගොදුරක් බවට පත්වී තිබෙන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මේ අතර, උන්ඩියල් හෝ හවාලා ක්‍රමයට ලංකාවට ඩොලර් පැමිණීමේ වරදක් නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කර තිබෙන ප්‍රකාශය බරපතල එකක් බවත් එවැනි ක්‍රම මගින් පැමිණි මුදල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක කටයුතු සඳහා යොදාගත්තේ යැයි සිදුකළ අනාවරණය එයටත් වඩා බරපතල බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.

මහ බැංකුව විසින් ඩොලරයේ අගය කෘත්‍රිම ලෙස පාලනය කිරීම නිසා 2020 අවසන් මාස පහට සාපේක්ෂව 2021 වසරේ අවසන් මාස පහ තුළදී ලංකාවට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 1.7 කින් අඩුවී තිබෙන බවත් මුදල් අමාත්‍යවරයාට මෙවැනි ප්‍රකාශ මගින් ප්‍රේෂණවල සිදුවූ මෙම කඩා වැටීම සාධාරණීකරණය කළ නොහැකි බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.

Related Posts