මහින්ද චින්තනය යටතේ ඉඩම් විදේශිකයන්ට විකුණා ජනතා අයිතීන් කඩ කරලා – විපක්ෂනායක

Spread the love

දේශීයත්වය පෙන්වමින් බලයට පැමිණි සන්ධාන ආණ්‌ඩුව “මහින්ද චින්තනය” යටතේ කොළඹ ජනයාගේ නිවාස කඩා විනාශ කර ගාලු මුවදොර පිටිය ඇතුළු ඉඩම් විදේශිකයන්ට කුණු කොල්ලයට විකුණා දමමින් ජනතා අයිතිවාසිකම් කඩ කර ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ 65 වැනි සංවත්සරය අමතා ඊයේ (06 සැප්.) ප්‍රකාශ කළේය.

එමෙන්ම තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කොළඹ මහ නගර සභාවේ බලය පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටින නගරාධිපතිවරයකුට ලබා දෙනවාද, එසේත් නැත්නම් සුද්දන් වෙනුවෙන් පෙනී සිටිමින් විජාතික බලවේග නියෝජනය කරන නගරාධිපතිවරයකුට ලබා දෙනවාද කියා ඔක්‌තෝබර් 08 වැනිදා කොළඹ ජනතාව තීරණය කළ යුතු බව පැවැසීය.

සර්ව ආගමික වතාවක්‌ වලට මුල්තැන දෙමින් ආරම්භ කළ එක්‌සත් ජාතික පක්‍ෂ සංවත්සර උළෙලේ දී එම පක්‍ෂයේ දිවංගත නායකයන්ගේ පිළිරූ වලට පුෂ්පෝපහාර දක්‌වනු ලැබුයේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වත්මන් නායකයන් විසිනි.

එක්‌සත් ජාතික පක්‍ෂයේ පැරැණි සාමාජිකයන් හා පක්‍ෂය වෙනුවෙන් විශාල මෙහෙවරක්‌ කළ අට දෙනකු වෙත රන් තිළිණ පිරිනැමීමද මෙම උළෙලේ විශේෂත්වයක්‌ විය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් කිහිපයක්.

එක්‌සත් ජාතික පක්‍ෂය නැවත වතාවක්‌ ඒ ඉදිරි ගමන යා යුතුව තිබෙන අතර ඒ ගමන යන්න අපට හැකියාව සහ ශක්‌තිය තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අවුරුදු 15 ක්‌ හෝ 20 ක්‌ බලයේ සිටිනු ඇතැයි සමහරුන් කියා සිටියත් එසේ සිදුවන්නේ නැහැ.

එක්‌සත් ජාතික පක්‍ෂය පොඩි මිනිහාගේ දේශපාලන පක්‍ෂයයි. සියලු සේවක වැටුප් වැඩි කිරීමටද, නව කර්මාන්ත ඇති කරමින් විරැකියාව දුරු කිරීමටද, අර්ථසාධක අරමුදල වැඩි කිරීමටද, සේවා නියුක්‌තිකයන්ගේ භාර අරමුදල ඇති කිරීමටද අප ක්‍රියා කළා.

ශ්‍රී ලංකාවේ වැඩිම මුදල් සම්භාරයක්‌ මේ වන විට තිබෙන්නේ ඒ අරමුදල්වලයි.

මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව මේ අරමුදල කොල්ල කෑමට උත්සාහ කළා. ඊට එරෙහිව කම්කරු ජනයා නැගී සිටි අතර රොෂෙන් ශානක තරුණයා ඒ වෙනුවෙන් සිය ජීවිතය පූජා කළා.

පොඩි මිනිසාට හානියක්‌ වන්නේ මේ ආණ්‌ඩුවෙන්. පොඩි මිනිහා ආරක්‍ෂා වන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයෙන්.

ජනතාවට ඉඩම්, නිවාස, නිදහස්‌ අධ්‍යාපනය ලබා දුන්නා. කොමිස්‌ නොගසා මහාමාර්ග ඉදිකළා.

අප ඒ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මධ්‍යම පන්තිය නිර්මාණය නොකළේ නම් ඔබට මේ අයුරින් ජීවත්වීමට හැකියාවක්‌ ඇත්තේ නැහැ. මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව යටතේ ඒ පන්තියේ මිනිස්‌සුන්ට ජීවත්වීමට හැකියාවක්‌ ඇත්තේ නැහැ රටේ ක්‍රියාත්මක වන්නේ ලොකු මිනිස්‌සු සියල්ලෙන්ම මුදල් උපයා ගන්නා අතර පොඩි මිනිස්‌සු සියල්ලෙන්ම තැළී පොඩි වීමයි.

කොළඹ සාමාන්‍ය ජනතාවගේ නිවාස 65000 ක්‌ මේ ආණ්‌ඩුව කඩා විනාශ කර දැමීමට යනවා. එසේ ඉඩම් කොල්ලකන ආණ්‌ඩුව අනූනව අවුරුදු බද්දට සුද්දන්ට, ඉන්දියන්කාරයන්ට, චීනුන්ට සහ කොරියන්කාරයන්ට ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.

ආණ්‌ඩුවේ දේශීයත්වය සහ දේශීය චින්තනය ඒ ඉඩම් සුද්දන්ට අනූනව අවුරුදු බද්දට ලබාදී බදු සහන සැලසීමට ද?

එසේ නම් කොළඹ මහ නගර සභා මැතිවරණයේදී ඔබ තීරණය කළ යුත්තේ ඔබට අවශ්‍ය පොඩි මිනිහා වෙනුවෙන් පෙනී සිටින නගරාධිපතිවරයකුද, නැතිනම් ලොකු මිනිස්‌සු වෙනුවෙන් පෙනී සිටින නගරාධිපතිවරයකු ද යන්නයි.

පොඩි මිනිහාත්, ඔහුගේ අයිතිවාසිකමුත් ආරක්‍ෂා කර දී තරුණ පරපුරට හොඳ අනාගතයක්‌ උදා කළ හැක්‌කේ එක්‌සත් ජාතික පක්‍ෂයට පමණයි. එසේ නම් එක්‌සත් ජාතික පක්‍ෂය දිනවා පොඩි මිනිහාගේ ආණ්‌ඩුවක්‌ ඇති කිරීමට අපි සියල්ලෙන්ම ඇපකැප වී ක්‍රියා කරමු.

RSL

Related Posts