පොල් ගෙඩි කෝටි 190ක් හිඟයි – පොල් සහ තෙල් මිල අහස උසටම යයි ද ?

Spread the love

පොල් බිලියන 1.9ක අවශ්‍යතාවය රජය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් දේශීය පොල් සහ පොල්තෙල් යන දෙකෙහිම මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය (NMCRP) පවසයි.

එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි බිලියන 3ක් වන අතර රටේ පොල් සඳහා ඇති ඉල්ලුම ගෙඩි බිලියන 4.9ක් බවයි.

“ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෙඩි බිලියන 1.8ක් අවශ්‍ය වන අතර පොල්තෙල් නිෂ්පාදනය සඳහා තවත් බිලියන 1.8ක් අවශ්‍ය වෙනවා. අපනයනය සඳහා අවශ්‍ය පොල් ගෙඩි ප්‍රමාණය ගෙඩි බිලියන 1.3ක්. වාර්ෂික පොල් අස්වැන්න හා සසඳන විට හිඟය ගෙඩි බිලියන 1.9ක් වෙනවා. පසුගිය වසරේ දේශීය පොල් සහ පොල්තෙල් මිලද ඉහළ ගියේ මේ තත්ත්වය මතයි. ඒ නිසා අපි මේ තත්ත්වය කලින් රජයට කිව්වා. එදා රජය ගත් නොසැලකිලිමත් තීරණ නිසා දේශීය පාරිභෝගිකයන්ට ඉතාම ඉහළ මිලකට පොල් සහ පොල්තෙල් මිලදී ගන්න සිදුවුණා. ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කළහොත් අපනයන ආදායම වැඩිකර ගැනීමට රජයට හැකිවනු ඇත.

රටේ පවතින ඉල්ලුමට සරිලන පරිදි සහල් ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබුණද පොල් පිටරටින් ගෙන්වීමට නොහැකි විය. තවද, රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් අපනයනය සඳහා අවශ්‍ය පොල් බිලියන 1.3 ක ප්‍රමාණය අඩු කිරීමට නොහැකි වී තිබේ. එසේ නම් රජයට කළ හැක්කේ රටේ පොල්තෙල් පරිභෝජනය කළමනාකරණය කිරීමයි. මෙරට පොල්තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස් දහසකි.

ඔක්තෝබර් සහ නොවැම්බර් පොල් අස්වැන්න සාමාන්‍යයෙන් අඩුවේ. සෑම වසරකම ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවලදී පොල් අස්වැන්න වෙළෙඳපොළට පැමිණේ.

‘පොල්තෙල් නිෂ්පාදනය සඳහා මිල දී ගැනීම් ඉහළ යාම හේතුවෙන් පොල් ගෙඩියක මිල රුපියල් 120 සිට 130 දක්වා ඉහළ යා හැකියි. ඒ නිසා අනාගතයේදී පොල් බෝතලයක මිල රුපියල් 800ක් පමණ දක්වා ඉහළ යා හැකියි‘ විතානගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.

Related Posts