පුනරුත්ථාපනය කළ 1,800 දෙනෙකු නැවත මවුපියන්ට බාර දෙති

Spread the love

මානුෂීය මෙහෙයුම සමයේ ආරක්ෂක අංශ වෙත බාර වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,000 ක් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (30 සැප්.) සිදුකෙරිණි.මේ යටතේ පුනරුත්ථාපනය කර මාපියන් වෙත මෙහිදී බාරදුන් සංඛ්‍යාව 1800 කි. ආරක්ෂක අංශ වෙත බාර වූ පිරිසෙන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට තවත් ඉතිරිව ඇත්තේ 900 ක් පමණ වූ සුළු සංඛ්‍යාවක් බව සඳහන්.
සටන්කාමීන් පුනරුත්ථාපනය කිරීමේ ලෝක ප්‍රමිතීන්ට, ආචාර ධර්මයන්ට අනුකූලව රජය කටයුතු කළ බවත් මෙවැනි පුනරුත්ථාපන ක්‍රියාවලියක් අඩුම කාලයකදී කළ රටක් වශයෙන් ශ්‍රී ලංකාව සඳහන් කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය. මේ කිසිවකු තමාගේ සතුරන් ලෙස නොසළකන බව කී ජනාධිපතිවරයා ඒ හැඟීම මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හේතු වූ බව කීවේය.
සුළු පිරිසකගේ වුවමනා එපාකම් ඉටුකර ගැනීම වෙනුවෙන් මිනිස් ජීවිත ලක්ෂ සංඛ්‍යාවක් බිලිගැනීමට නැවත වතාවක් ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. අඳුරු අතීතය සිහිපත් කර හඬා වැටීමෙන් හෝ වෛර කිරීමෙන් ඵලක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ අතීතය අමතක කර නව ජීවිතයක් ඇරැඹීම බව පැවැසීය.
පුනරුත්ථාපන වූ මේ පිරිස යන සමාජය මල් යහනාවක් නොවන බව පැවැසූ ජනාධිපතිවරයා සමාජයේ නොයෙක් පිරිස් සමාජ විරෝධී ක්‍රියාවලීන්ට යොදා ගැනීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේසමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. පුනරුත්ථාපනය වූ දරුවන්ගේ අනාගතය බාර ගැනීමට මෙන්ම ඉදිරි අවශ්‍යතා ඉෂ්ට කිරීමටත් තමා සූදානම් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.


RSL

Related Posts