පාසැල රජයේ කාර්යාලයක් ලෙස හඳුන්වාදෙන්න බැහැ – රාජ්‍ය පරිපාලන ලේකම්

Spread the love

රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීමේදී පහසු ඇඳුමකින් සේවයට වාර්තාකිරීමට ඉඩ ලබාදෙමින් සිය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පාසැල රජයේ කාර්යාලයක් ලෙස හඳුන්වාදිය නොහැකි බවයි.

ඒ අනුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ රජයේ කාර්යාල සඳහා වාර්තාකරන සේවකයින්ට අදාළ වන ලෙස බවත් වෙනත් සේවාවන් වල නිරත පිරිස්වලට එය අදාළ කරගත නොහැකි බවත් එසේ අදාළ කර ගැනීම ආචාර ධර්මවලට පටහැනි බවයි ලේකම්වරයා සඳහන් කළේ.

පාසල් ගුරුවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍යංශය බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, අදාළ චක්‍රලේඛය ගුරුවරුන්ටද අදාළ බවයි.

Related Posts