පාස්කු කොමිෂමේ අවසන් වාර්තාවෙන් ජනතා අපේක්ෂා සුන් වුණා – විජිත හේරත්

Spread the love

2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළ කොමිසමේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පෙරවරුවේ පැවති හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා,

“2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළා. කොමිසමට පැමිණිකරුවන් සාක්ෂිකරුවන් කැදවලා පරීක්ෂණ සිදුකළා. කොමිසම විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට බාරදුන්නා. එය පෙබරවාරි 23දා එනම් දින 23කට පමණ පසුව තමයි කථානායකට බාරදී තිබුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තවම එය ලබාදීලා නැහැ. පාර්ලිරම්න්තු පුස්තකාලයේ එහි පිටපතක් තිබෙනවා.

මෙම වාර්තාව මගින් ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන්, විවිධ අතපසුවීම්, නොසැලකිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු පොලිස්පතිවරයා, බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු කණ්ඩායමට චෝදනා ඉදිරිපත්වී තිබෙනවා. ප්‍රහාරය ඇතිවීමට හේතු, මෙවැනි ප්‍රහාරයක් මඟහරවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග, ප්‍රහාරයට අන්තවාදී සංවිධානවල බලපෑම ගැන සඳහන් වෙලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය ඇතිවීමට බලපෑ සමාජීය කාරණා පිළිබඳ විග්‍රහයක් තිබෙනවා. නමුත් මේ ප්‍රහාරයේ සැබෑ මෙහෙයුම්කරුවා කවුද, එය සිදුකළේ කාගේ වුවමනාවටද, එහි පිටිපස්සේ තිබුණ හස්තය කාගෙද, විදේශීය බලපෑමක් තිබුණද, දේශීය සංවිධානයක බලපෑමක් තිබුනද කියන ප්‍රශ්නයට උත්තර නැහැ. අන්තවාදයේ කූඨ ප්‍රාප්තියක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය ඇතිවූ බවට වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

පැවති දේශපාලන තත්වයන් මත අන්තවාදී ක්‍රියා ඇති වූ බවද එහි සඳහන් වෙනවා. නමුත් රටම බලා සිටියේ මෙම ප්‍රහාරය කාගේ උවමනාවකට සිදුවූවක්ද කියා දැනගැනීමටයි. සැබෑ වගඋත්තරකරුවා හෙළි වීනැති නිසා එම පුද්ගලයා තවමත් නිදැල්ලේ. ජනාධිපති කොමිසමේ ප්‍රධාන වගකීම ඇත්ත වගඋත්තරකරුවා හෙළිදරව් කිරීමයි.

මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධව අදාළ බලධාරීන්ට විරුද්ධව ගත යුතු පියවර ගැන නම් එහි සඳහන් වෙනවා. මෙවැනි කොමිෂන් වාර්තාවක් අංග සම්පූර්ණ එකක් විය යුතුයි. මේ වාර්තාවේ අලුත් දෙයක් නැහැ. මෛත්‍රී රනිල් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතුයි කියලා ජනතාව දැනගෙන හිටියා. වවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ කරුණු පදනම්කරගෙන සැබෑ කුමන්ත්‍රණකරුවා හෙළිකිරීම තමයි වැදගත්. ජනතාව ඒ දේ බලාපොරොත්තු වුණා. නමුත් එය සිදුවී නැහැ. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තාට දඩුවම් කිරීමක් මේ වාර්තාවෙන් සිදුවෙලා නැහැ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම කොමිසම පත්කිරීමේදී ගැසට් එකේ විශේෂයෙන් සඳහන් කර තිබුණේ මේ කුමන්ත්‍රණයේ සැබෑ වගඋත්තරකරුවා හෙළිදරව් කරගැනීම ප්‍රමුඛ කාර්යයක් කියලා. එවැන්නක් සිදුවෙලා නැහැ. එනිසා මෙම කොමිසම් වාර්තාවත් තවත් එක් වාර්තාවක් පමණක් බවයි අපිට වැටහෙන්නේ.

මෙවැනි ප්‍රහාරයක් මෙහෙය වන අන්තවාදී සංවිධානයක නායකයා සියදිවි නසාගත් බව කීමත්ම ප්‍රහේලිකාවක්. වාර්තාවේම සඳහන් වෙනවා එසේ නොවූ බව. සහරාන් කියන්නේ නායකයා නොවේ නම් එහි නායකයා, ප්‍රහාරය මෙහෙය වූ පුද්ගලයා තවමත් සිටිනවා. එම සංවිධානය තවමත් තිබෙනවා. මූලයන් පිළිබද නිස්චිත තොරතුරක් නැහැ. අවුරුද්දයි මාස 05ක් පමණ කොමිසම ක්‍රියාත්මක වුණා. ජනතාව බලාපොරොත්තු වෙනවා සැබෑ මෙහෙයුම්කරුවා කවුද කියලා හෙළි වෙයි කියලා. මෙය කළේ දේශපාලන වුවමනාවකටද? ආගමික වුවමනාවකටද යන්න පැහැදිලි නැහැ. මෙම වාර්තාවේ ජනතාව දැනටමත් දන්නා කරුණු මිසක් විශේෂ යමක් සඳහන්ව නෑ. සත්‍ය දැනගැනීම ජනතාවට තිබෙන අයිතියක්. වාර්තාව ජනාධිපතිවරයාට දුන් දිනම එය මන්ත්‍රීවරුන්ට සහ ජනතාවටත් ලබාදිය යුතුව තිබුණා. එසේ නොකිරීමත් සැකසංකා උපදවන්නක්. අවුරුදු 1 1/2ක් පමණ කොමිසම කල්මරලත් ලබාදී තිබෙන්නේ අසම්පූර්ණ සහ සැක සහිත වාර්තාවක්.

තවත් කාරණයක් තමයි, මෙහි රනිල්ට නඩු දාන්න කියල නැහැ. ඔහුට තිබෙන්නෙ නොසැලකිල්ල කියන චෝදනාව. ඔහු පසුගිය ආණ්ඩුවේ දෙවෙනි බලධරයා. ඔහු බබෙක් නොවෙයි. මෙතනත් සැඟවූ යමක් තිබෙනවා. මෛත්‍රීට සහ රනිල්ට දෙවිධියකට සැලකීම තුළ වාර්තාවේ සමබරතාවය ගැනත් ප්‍රශ්නයක් පැන නගිනවා. කෙසේ වෙතත් මෙම වාර්තාවත් සත්‍ය යටපත් කළ හුදු වාර්තාවක්ම පමණයි.

ඒ වගේම මෙම වාර්තාවේ නිර්දේශ අනුව වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් වෙනවා. රිෂාඩ් බදුයුදීන් සම්බන්ධයෙන් තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනාවක්. නමුත් පහුගිය දවස්වල ඔහුට එරෙහිව විශාල චෝදනා ප්‍රමාණයක් තිබෙන බවට අදහස් සමාජගත වෙලා තිබුණා. අනෙක් මුස්ලිම් නායකයන්ට එරෙහිවත් තත්වය ඊට සමානයි. කොමිසමේ වාර්තාව මත පදනම් වෙලා සැබෑ වගඋත්තරකරුවා හෙළිවෙලා නැහැ. කෙසේ වෙතත් මෙම වාර්තාව සම්පූර්ණයෙන් අසාර්ථක එකක් කියලා අපි කියන්නේ නැහැ. ජනතා මුදල් වියදම් වුවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කළ යුතුව තිබුණා. නමුත් වාර්තාව අංග සම්පූර්ණ වාර්තාවක් කියලා පිළිගන්න බැහැ. මේ වාර්තාව මන්ත්‍රීවරන්ට මෙන්ම ජනතාවටත් අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලබාදිය යුතුයි.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

“කොමිසමට දඩුවම් කිරීමේ බලයක් නැහැ. කොමිසම කරන්නේ වගකිව යුත්තන් පිළිබඳ නිර්දේශ නිකුත් කිරීම පමණයි.

ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම පාලනය කරන ඕනෑම ආණ්ඩුවක වගකීමක්. යුද්ධය පැවැති සමය පිළිබඳ කරුණු තිබෙනවා. අනෙක් කරුණු යුද්ධය පැවැති සමයේ සිදුවූ දේවල් නොවේ. මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීම ගැන තිබෙනවා. ලෝකයේ එකම රට තමයි ලංකාව, කොවිඩ් වැළඳුණු බන්ධනාගාර රැදයවින්ට වෙඩි තැබීමේ සිදුවීමක් වර්තා වෙන. ඒවා යුද්ධයට අදාල දේවල් නෙවෙයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අපේ රටට චෝදනා කරන්න පාර කැපිලා තිබෙන්නේ රට ඇතුලේ මානව හිමිකම් කඩ වෙන නිසා. ජිනීවා පරද්දන්න නම් ආණ්ඩුව කළ යුත්තේ රටතුළ මානවහිමිකම් ආරක්ෂා කරන එකයි.”

Related Posts