පාකිස්ථානය බිල් ලාඩන්ගේ වැන්දඹුවන්ගෙන් හා දියණියන්ගෙන් ප්‍රශ්න කරයි

Spread the love

ඝාතනය වු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් වසර ගණනාවක් පාකිස්තානයේ රහසේ ජීවත්ව සිටි ආකාරය විමර්ශනය කරන කොමිසම පසුගිය දා (05 ඔක්.) පළමුවරට ඔහුගේ වැන්දඹුවන්ගෙන් හා දියනියන්ගෙන් ප්‍රශ්න කර තිබේ.
කොමිසම නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ බින්ලාඩන් ගේ වැන්දඹුවන් තිදෙනා හා දියණියන් දෙදෙනාගෙන් සවිස්තරාත්මකව ප්‍රශ්න කිරීම ඔවුන් පෙරේදා ආරම්භ කළ බවය. එහෙත් ඊට වැඩි යමක් ඔවුන් ප්‍රකාශ කර නැත.
ඉකුත් මැයි 2 දා පාකිස්තානයේ අබොටාබාද්හිදී එක්සත් ජනපද සීල් හමුදාව බින්ලාඩන් ඝාතනය කොට ඔහුගේ මළසිරුර ගුවනින් ගෙන යාමෙන් පසු පාකිස්තානය, ඔහුගේ සවුදි වැන්දඹුවන් දෙදෙනා හා යේමන වැන්දඹුව සමඟ ඔවුන්ගේ දරුවන් 10 දෙනකු පමණ අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සිද්ධිදාමය පාකිස්තාන – අමෙරිකා සබඳතා අර්බුදයකට ලක්කර ඇත.
මේ කාන්තාවන් හා දරුවන් ඔවුන්ගේ රටවලට යැවීමට දරන ලද ප්‍රයත්නය වැළකී ගියේ යළිත් දන්වන තුරු ඔවුන් පාකිස්තානයේ රැඳීසිටිය යුතු බවට කොමිසම නියෝග කළ බැවිනි.ඒ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවිනි.
ඔවුනට අමතරව මේ කොමිසම පෙරේදා පාකිස්තාන බුද්ධි අංශ ප්‍රධානී ආමද් ෂුජා පෂාගෙන්ද ප්‍රශ්න කර තිබිණ. තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත අතර සිවිල් ආයතනයකින් හමුදා බුද්ධි අංශයක් ප්‍රශ්න කරන පළමු අවස්ථාව මෙය බව කියැවේ.
මීටත් අමතරව ඉකුත් මාර්තු – අප්‍රේල් කාලයේදී බින්ලාඩන් වාසය කළ ප්‍රදේශයේ නිදහස් එන්නත් වැඩසටහනක් පවත්වන ලද වෛද්‍ය ෂකීල් අෆ්රිඩිගෙන්ද කොමිසම ප්‍රශ්න කර ඇත්තේ බින්ලාඩන් එම ප්‍රදේශයේ සිටි බව දැන ඔහු එබව අමෙරිකාවට දන්වන ලද බවට සැක කරන බැවිනි.

RSL

Related Posts