පන්සලත් ජනතාවත් අතර පවතින සබඳතාව අඩපණ කිරීමට බලවේග ක්‍රියාත්මක වෙනවා – අගමැති

Spread the love

පන්සලත් ජනතාවත් අතර පවතින සබඳතාව අඩපණ කිරීමට වර්තමානයේ පමණක් නො ව ඉතිහාසයේදීත් බලවේග ක්‍රියාත්මක වූ බව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා අවධාරණය කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා කෑගල්ල, යට්ටෝගොඩ, යටාලතිස්ස ධර්මායතන විහාරස්ථානයේ අභිනව චෛත්‍යට මුල්ගල තැබීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගි වෙමිනි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විහාරස්ථානය වටා ජනතාව පෙළ ගැසුණහොත් අප ජාතියට එරෙහි ව ක්‍රියාත්මක වන අභියෝග පළවා හැරීමට එය ශක්තියක් වන බවත්, ජාතිය ආරක්ෂා වූයේ පන්සල නිසා බවත්, එය සුරක්ෂිත කිරීම අප සියලු දෙනාගේ යුතුකම හා වගකීම බවත් ය.

එසේ ම ජාතියක් ලෙස ඉදිරියට යාමේ දී අපට අභියෝග රැසක් එල්ල වී තිබේ. මෙහිදී අප බුද්ධියට මුල් තැන දිය යුතුයි. ජනාපතිතුමා රටේ ජනතාවට ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට විශාල වැඩපිළිවෙළක් ගෙන යනවා.

මේ සඳහා අප මමත්වයෙන් තොර ව කටයුතු කළ යුතුයි. 2500 සම්බුද්ධත්ව ජයන්තියට සමගාමී ව ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කරනවා. ඊට අවශ්‍ය ස්වාධීන ව සිතීමේ අයිතිය අපට තියෙන නිසා අපි ආකල්පමය වශයෙන් වෙනස්විය යුතුයි.

ඒ සඳහා ආගම පදනම් කර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සැලසෙන ආකාරයට පන්සල සකස්විය යුතුයි. මේ සඳහා දිවයින පුරා විහාරස්ථාන 2600ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට අප ආරම්භ කර තිබෙනවා.

මේ අවස්ථාවට යට්ටෝගොඩ යටාලතිස්ස ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය සියඹලාපිටියේ සෝමානන්ද ස්වාමින්වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායක මහා සංඝ රත්නය, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනවිරත්න, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සබරගමු පළාතේ ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගි වී සිටියහ.

RSL

Related Posts