පක්ෂ නායකත්වය කරූට දෙන්න බලතල සංශෝධනට රනිල්ගෙන් යෝජනාවක්

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ පක්ෂ නායකයා සතු බලතල පිළිබඳව අධ්‍යයනය කොට සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නීතීඥ කණ්ඩායමට දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහමහතා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පෙලේ නීතීඥවරුන්පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා ඇත.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා සතුව පවතින බලතල සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කළ යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තමා සමඟ අදහස් පල කොටඇති බවයි.

එම නිසා පක්ෂය තුළ අදාළ වෙනස්කම් පිළිබදව සාකච්ඡා කිරීමට ලේඛනයක් කෙටුම්පත් කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා නීතීඥවරුන්ට පෙන්වා දී ඇත.

වර්තමානයේ ක්‍රියාත්මක වන පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයා තෝරාගනු ලබන්නේ වසර 6ක ධුර කාලයක් සඳහා වන අතර නායකත්වය සඳහා කෙනෙක් පත් කළ විට ඔහු සිය කැමැත්තෙන් ඉල්ලා අස්වුවහොත් මිස ඉවත් කිරීම සදහා ප්‍රතිපාදන නොපැවතීම පිළිබඳව ද පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ අවධානයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.