නළ ළිං ලියාපදිංචි කර මීටර් සවිකිරීමට යයි

Spread the love

මෙරට සමස්ත භූ ගත ජල ධාරිතාවය පිළිබඳ ඇගයීමක් සිදු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ආරම්භ කොට ඇතැයි ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි.

බන්දු වික්‍රම මහතා මේ බව කියා සිටියේ, අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ‘2025 දී සැමට ජලය ව්‍යාපෘතිය කොවිඩ් මැද ඉදිරියට‘ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත් විණි.

මෙරට සමස්ත භූගත ජල ධාරිතාවය පිළිබඳව තක්සේරුවක් මේ වන තෙක් සිදු කර නොමැති හෙයින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව කියා සිටි ලේකම්වරයා, මෙවැනි ඇගයීමක් සිදු කිරීම මඟින් කොපමණ ජල ප්‍රමාණයක් භාවිතා කරන්නේ ද යන්න හඳුනා ගත යුතු බවත්, අභ්‍යන්තර සහ මතුපිට භූගත ජලය මඟින් වර්ෂාවෙන් කොපමණ ප්‍රතිආරෝපණය කරන්නේ ද යන්න සහ එසේ නොවන්නේ නම් ප්‍රතිආරෝපණය කිරීමට කළ හැක්කේ කුමක් ද යන්න පිළිබඳව ද එමඟින් හඳුනාගත යුතු බවත් පැවසිය.

මෙහි මූලික වැඩපිළිවෙළ ලෙස විශාල ලෙස නළ ළිං භාවිතා කරන මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතන, සමාගම් සහ වගා කටයුතු සිදු කරන්නන් පරිභෝජනය කරන ජල ප්‍රමාණය හඳුනාගත හැකි වන සේ එම නළ ළිං සඳහා ජල මීටර් සවි කිරීමටත් කටයුතු කරමින් සිටින බවත් ඔහු කීවේය.

ඊට අමතරව ජල සම්පත් මණ්ඩලයේ පනත ප්‍රතිසංස්කරණය කොට නියාමනය කිරීමට අවශ්‍ය ක්‍රමයක් හඳුන්වාදීමට ද පියවර ගන්නා බව ද ප්‍රියත් බන්දු මහතා කීවේය.

මළ අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ කටයුතු නාගරික වශයෙන් ආරම්භ කිරීමට ද කටයුතු කරන බවත් ඊට ජනතා සහයෝගය ද අවශ්‍ය වන බවත් ඔහු කියා සිටියේය.

මෙරට සාමාන්‍ය ජනයා නළ ළිඳක් භාවිතා කිරීම සිමා කිරීම නොව සාමාන්‍ය ජනයාට ප්‍රමාණවත් ජලය පොළව තුළ තිබෙන බව තහවුරු කිරීමට අවශ්‍ය වැඩපිළිවළෙ සකස් කිරීම මෙහි අරමුණ වන බවත් පැවසු ආචාර්ය ප්‍රියත් බන්දු මහතා මේ හේතුව නිසා සියලු නළ ලිං ලියාපදිංචි කරමින් තිබෙන බවත්, ඒ අනුව මහා පරිමාණයෙන් පරිභෝජනය කරන අයවලුන්ගේ පරිභෝජනය මත පදනම්ව ගාස්තුවක් අය කොට, එම ගාස්තුව ජලය ප්‍රතිආරෝපණය කිරීමේ ව්‍යාපෘතියකට ආයෝජනය කිරීම සඳහා අරමුදලකට බැර වන සේ කටයුතු කරනු ඇති බවත් සඳහන් කළේය.

අරපිරිමැස්මෙන් තොරව ජල පරිභෝජනය කිරීමෙන් ඉදිරි වසර 10 තුළ විශාල ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවන අතර විශාල ලෙස භූගත ජලයට එකතුවන විස රසායනික ද්‍රව්‍ය නිසා ජලය නාස්ති වීමද බෙහෙවින් සිදු වන හෙයින්, වත්මන් රජයේ වගකීම සැමට පානීය ජලය ලබා දීම පමණක් නොව තවත් දීර්ඝ කාලයක් ආරක්ෂා කොට පවත්වාගැනීම ද අරමුණ වන බව ද ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය

Related Posts