දුමින්ද සිල්වට ජනපති සමාව ලබාදීම – ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

Spread the love

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න ජනපතිවරයා විසින් රටට හෙළි කළ යුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් අද (24) දින නිකුත් කර ඇති නිවේදනයක සදහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 34(1) වගන්තිය යටතේ එවැනි සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබුණ ද එය කරන ලද්දේ අදාළ වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගෙන ද යන්න ගැන ලිඛිතව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනය මගින් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 34(1) වගන්තිය සමාවක් ප්‍රදානය කිරීමට ව්‍යවස්ථාවෙන් බලය ලැබුණ ද එහිදී මරණ දඬුවම නියම කළ විනිශ්චයකාරවරයාගේ වාර්තාවක් කැඳවා එය නීතිපතිවරයාට ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීමත්, ඉන්පසු එම උපදෙස් අධිකරණ අමාත්‍යවරයා විසින් කියවා බලා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමත් කළ යුතුය.මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයෙකුට සමාවදීමේ බලය ජනාධිපතිවරයාට ඇතත් එය ක්‍රියාත්මක කළ යුත්තේ යුක්ති සහගතව බවත්, තමන්ට අවශ්‍ය පුද්ගලයා තෝරා හෝ අත්තනෝමතිකව එය ක්‍රියාත්මක නොකළ යුතුය.

දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදීමේදී ඉහත වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇත. නීතිවිරෝධී ලෙස ඒකරාශීවීම හා මිනීමැරීම යන චෝදනා යටතේ වරදකරුවකු බවට දුමින්ද සිල්වා මහතාට එරහිව මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය සභාවකින් ද ඒකමතිකව තහවුරු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 34(1) වගන්තිය යටතේ එවැනි සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබුණ ද එය කරන ලද්දේ අදාළ වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගෙන ද යන්න ගැන ලිඛිතව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලබා දෙන මෙන් අපි ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කරමු. ඒ අනුව 34(1) වගන්තිය අනුව දුමින්ද සිල්වාට කුමන පදනමක් යටතේ සමාව පිරිනැමුවේද?, මේ සඳහා සැලකිල්ලට ගනු ලැබූ කරුණු මොනවාද?, දැනට දඬුවම නියම වූ අනෙක් සිරකරුවන්ගෙන් දුමින්ද සිල්වා වෙනස් වන්නේ කෙසේද?, විනිසුරු වාර්තාව කැඳවා ඇත්නම් එහි අන්තර්ගතය, නීතීපති උපදෙස් ලබා ඇත්නම් එහි අන්තර්ගතය, අධිකරණ අමාත්‍ය නිර්දේශ ලබාගෙන ඇත්නම් එහි අඩංගු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ජනතාව දැනුවත් කළ යුතුය‘

මීට පෙර ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා (1977-1988) විසින් ගෝනවල සුනිල් නැමති පුද්ගලයාට ජනාධිපති සමාව ලබා දීම ද සමාජය තුළ, විශේෂයෙන් එවකට විපක්ෂය තුළ බලවත් ආන්දෝලනයක් ඇති කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට ස්වල්ප දිනකට පෙර රෝයල් පාක් ඝාතනයට සම්බන්ධ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම ද දැඩි විවේචනයට ලක්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම ද සමාජමාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව ඇත.

Related Posts