දිනේෂ් ප්‍රියන්තගෙන් පැරා – ඔලිම්පික් ලෝක වාර්තාවක්

Spread the love

පැරා ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු දිනාගත් පළමු රන් පදක්කමට හිමි වාර්තාව තමා සතු කරගනිමින් ටෝකියෝ නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30 වැනිදා) සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන 35 හැවිරිදි දිනේෂ්, 2016 වසරේදී පැවැති රියෝ පැරලිම්පික් උළෙලේදී මීටර් 58.23 ක දුරක් හෙල්ල විසිකරමින් එෆ් 46 කාණ්ඩයේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.

2012 වසරේදී පැරා ක්‍රීඩා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු ගජබා ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර ප්‍රදීප් නිශාන්ත ඔහුගේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.

එක් අතක් වැලමිටට පහළින් හෝ ඉහළින් අහිමි ක්‍රීඩකයන් තරග වදින එෆ් 46 කාණ්ඩය යටතේ තරග වැදුණ දිනේෂ්, සිය තෙවැනි උත්සාහයේදී මිටර් 67.79 ක  දුරක් හෙල්ල විසිකරමින්  නව ලෝක වාර්තාව පිහිටුවේය. ඔහුගේ පළමු උත්සාහය මීටර් 62.58 ක් ලෙසද, දෙවැනි උත්සාහය  මීටර් 62.19 ක් ලෙසද සටහන් විය.

එම ඉසව්වේදී දිනේෂ් ප්‍රියන්ත මීටර 67.79 වාර්තා කළ අතර රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනා පිළිවෙලින් මීටර 64.35 ක් සහ 64.01 වශයෙන් වාර්තා කළහ.

කවුද මේ දිනේෂ් ප්‍රියන්ත?

හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියාන්

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටින අතරතුර 2008 වසරේදී දිනේෂ් ප්‍රියන්තගේ වම් අතට වෙඩි වැදී තිබේ. අතේ මාංශ පේශීවල ශක්තියට හානි වීම නිසා (Impaired muscle power) ඔහු අබාධිත ක්‍රීඩක කාණ්ඩයට ඇතුළත් වේ.

අනුරාධපුරයෙන් බිහි වූ ක්‍රීඩකයෙකු වන දිනේෂ්, 2019 වසරේ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වඩාත් කැපී පෙනෙන පැරා ක්‍රීඩකයා වශයෙන් සම්මානයට ලක් විය. 2018 වසරේදී ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ලැබුවේ ඔහු විසිනි.

“මගේ සිහිනය සැබෑ වුණ එක ගැන හරිම සතුටුයි. ඒ ගැන කියන්න වචන නෑ.” යනුවෙන් ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ධජය සිඹි දිනේෂ් පැවසීය.

“මම පාසල් ශිෂ්‍යයෙකුව සිටියදීත්, පසුව හමුදාවෙදීත් කිසිම ක්‍රීඩාවක යෙදුනේ නැහැ. තුවාල වුණාට පස්සේ මම අවුරුදු හතරකට වැඩිය රෝහලේ සිටියා. ශ්‍රී ලංකාවේ යුද්ධය අතරතුර, 2008 දී මගේ අතේ තුන් පොළකට වෙඩි වැදුනා” යනුවෙන් දිනේෂ් සිය ජයග්‍රණයෙන් පසු කී බව‘ පැරාඔලිම්පික් නිල වෙබ්අඩවියේ වාර්තාවක සදහන් වේ.

‘‘මම පාබල හමුදාවේ සිටි නිසා එකම දවසෙදී මගේ යාළුවෝ බොහෝ දෙනෙක් තුවාල ලැබුවා. ඔවුන් එකිනෙකා සමග කතාබහ කරමින් රෝහලේ සිටියා. මට සුවය ලැබූ පසු විනෝදය සඳහා ක්‍රීඩාවක යෙදෙන්න අවශ්‍ය වුණා. මගේ බිරිඳ තමයි මට ඉන්න ලොකුම දිරි ගැන්වීම,” මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මගේ බිරිඳ ඔවුන් හොඳින් රැක බලා ගන්නවා. ඇය මා දිරි ගන්වනවා. අපේ බාලම දරුවට තාම මාස අටයි. මගේ බිරිඳ ඒ සියලු දේ ඉටු කරනවා. ක්‍රීඩාවේ යෙදෙන්න ඇය මට නිදහස දී තිබෙනවා. මේ රන් පදක්කම වෙනුවෙන් මම මගේ බිරිඳට ස්තූතිවන්ත වෙනවා.”

මේ අතර පැරාලිම්පික් රන් පදක්කම දිනා ගැනීමත් සමග ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව යුද හමුදාපතිවරයා විසින් දිනේෂ් ප්‍රියන්තව සාජන්ට් නිලයේ සිට බලලත් නිලධාරී 01 දක්වා උසස් කරනු ලැබ තිබේ.

Related Posts