දඹුල්ල නගරය මැද වන අලි විනාශය

Spread the love

දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සළුඅපුල්ලනවැව ග්‍රාම සේවා වසමේ නාවාගස්හින්න ප්‍රදේශයට  පසුගිය 10  දින රාත්‍රියේ කඩා වැදුණු වන අලි  රංචුවක් එක රැයකින් ඵල දරමින් ඇති පොල් ගස් 200ක් පමණ විනාශ කොට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

දඹුල්ල නගරයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරකින් පිහිටා ඇති නවාගස්හීන්න  ප්‍රදේශය වැඩි වශයෙන් ගොවීන් ජිවත්වන ප්‍රදේශයක් බවත් දින ගණනාවක සිට වන අලි රංචුවක් ගම් වැදී මෙම විනාශය සිදුකරන බවත් ඔවුහු පවසති.

නාවගස්හින්න ප්‍රදේශයට 10 රාත්‍රියේ පැමිණි වන අලින් රංචුව එම් ප්‍රදේශයේ ගොවීන් රැසකගේ පොල්  ගස් පෙරළා  ආහාරයට ගෙන තිබෙන බවත් ඇතැම් පොල් ගස් වල ඉහළ කොටසේ ගොබය ඇද ආහාරයට ගෙන ඇතැයි ගොවීහූ පෙන්වා දෙති.

මේ විනාශය ගැන අදහස් දැක්වූ ගොවි මහතෙකු මෙසේ පැවසුවේය, ‘වන අලි රංචුව  විනාශ කළ පොල් ගස් ඉතා හොඳ  ඵලදාවක් තිබුණ ගස්. අපි අවුරුදු ගණනාවක් තිස්සේ කළ මහන්සිය එක රැයකින් ඉවරයි. මේ විනාශය අපිට දරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. හරියට දරුවෙක් නැති වුණා වාගේ දුකක් අපිට දැනෙන්නේ’

‘අපි අවුරුදු ගණනක් තිස්සේ අතින් වතුර ඇදලා තමයි මේ පොල්ගස් ලොකුකර ගත්තේ. ඒත් ඒ සේරම ඉවරයි. මේ ගස් බිම දාලා ඒකේ ගොබේ කෑල්ලක් විතරයි කාලා තියෙන්නේ. අපි බලධාරීන්ට කියන්නේ මේ වන අලි ගැටලුවට ඉක්මන් විසදුමක් දෙන්න. පැලැස්තර විසදුම් නම් එපා. ඒ වගේම මේ විනාශයට අපිට වන්දියක් ලබාදිය යුතුයි’

ගල්කිරියාගම රණව රක්ෂිතයේ සිටින වන අලින් රංචුවක් මේ දිනවල පලාගල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා හබරත්තාවල  ගම්මාන   විනාශ කරමින් මේ වන විට දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පවා ඇතුළු වී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

වහා විදුලි වැටක් ඉදිකර මෙම වන අලි හානිය අවම කර දෙන ලෙසත් එසේ නොමැති වුවහොත් රටේ පොල් ඵලදාවට බරපතළ හානියක් සිදුවන බවත් මෙම ගොවි ජනතාව පෙන්වා දෙති.

‘තාම සිදු වුණේ පොල්ගස් විනාශ කිරීම විතරයි. ඒත් මෙහෙම ගියොත් ජීවිත හානි පවා සිදුවිය හැකියි. ඒ නිසා ජීවිත හානියක් සිදුවීමට  පෙර  වහාම මෙම වන අලි ගම් වැදීම  පිළිබඳව  බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතුයි’ ඔවුහු වැඩි දුරටත් කියා සිටිති.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts