තහවුරුයි! රවී නිවැරදියි..!!

Spread the love

ප්‍රධාන ධාරවේ මාධ්‍යයක් දේශපාලනඥයකු සම්බන්ධ ලිපියක් ගැන කණගාටුව පළකර නිවැරැදි කිරීමක් පළකරන්නේ කළාතුරකින්ය.

ලිපියක් සම්බන්ධව කෙසේ වුවත් පුවතක් සම්බන්ධව නම් කොහෙත්ම අතර මැද සමාදාන තියාගන්න මධ්‍ය ආයතන කටයුතු කරන්නේ නැත.

ඒ එවැන්නක් නිසා අදාළ පුවත සම්පාදනය කළ මාධ්‍යවේදියා මෙන්ම අදාළ මාධ්‍ය ආයතනයත් දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙන නිසාය. විශ්වසනීයභාවයේ සිට කරුණු කාරනා රැසක් එතැන ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම මීඩියා උණ සම්බන්ධ හීනමාන ද ඒ තුළ අඩු නැතුව පවතී.

පසුබිම එසේ නිසා බැරිම, ගැලවීමක් නැතිම තැන මිස කණගාටුව පළකර සටහනක් තැබීම ඉතා කළාතුරකින් සිදුවන්නකි. විශේෂයෙන් විපක්ෂයේ දේශපාලනඥයකුට අදාළව කොහෙත්ම අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි.

නමුත් සිදුවූ වරදක් ගැන කණගාටුව ප්‍රකාශ කිරීම මාධ්‍ය ආචාර ධර්ම අනූව උසස් ක්‍රියාවක් බවත් මාධ්‍ය මහත්වරුන්ට මිස මහත්හොරුන්ට එසේ කිරීමට නොහැකි බවත් මෙහිදී අවධාරණය කළ යුතුව ඇත.

කෙසේ වුවත් මේ සිදුව ඇත්තේ එවැන්නකි. ලංකාවේ ප්‍රධාන ධාරවේ මාධ්‍යක් හිටපු අමාත්‍ය රවී කරුණානායක වෙත තම පුවත සම්බන්ධව කණගාටුවට පළකර ඇත. පුවත පළවී ඇත්තේ 2020 පෙබරවාරි 28 ය. වඩාත් වැදගත් කරුණ වන්නේ පුවතට අදාළ සිදුවීමය. එය 2015 පෙබරවාරි මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධවය. එහිද ලංකාවේ සිටි අපකීර්තිමත් ජනාධිපති සිරිසේන පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පදනම් කර ගනිමින් ය.

රවීට ගහන්නේ ඇයි ?

රවී කරුණානායක කියන්නේ ලේසි පහසු දේශපාලනඥයෙක් නොවේය. පසුගිය දශක දෙකක පමණ කාලය තුළ එජාපය ගේමක් ගැහුවා නම් ඒ පසුපස අනිවාර්යයෙන් රවී සිටියේය.

සැබවින්ම රවී කියන්නේ ලලිත් – ගාමිණි සුසංයෝගය ආභාෂයෙන් හැදුණු වත්මන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන‍‍‍‍‍‍යේ ඔස්තාර් කෙනෙකි. ආර්ථිකය ගැන ඕලාරික කතා කියන පිස්සු ආචාරියන්ට වඩා කාටත් තේරෙන සරල බසින් ආර්ථික කරුණු පැහැදිලි කිරීමේ නිපුනයෙකි. ප්‍රායෝගික දේශපාලන ජීවිතය සහ ජනතාව සංවේදී ආර්ථික පැතිතල ගැන රවී කරුණානායක සමග හැරෙන්නත් අමාරුය. එපමණක් නොව බොහෝ දේශපාලනඥයින්ට නැති , අහිමිකරගත් දෙයක් රවී සතුව සුරක්ෂිත ලෙස ඇත. ඒ ආදරණීය පවුල් ජීවිතයක් ය.

කවුරුත් නොදන්නවාට රවීගේ දේශපාලන හතුරන් දරාගත නොහැකි ඊර්ෂ්‍යාවකින් පෙළෙන්නේ ඒ ගැනය. මඩේ ඔබා ගලේ ගසා මැඩිය නොහැකි ප්‍රායෝගික දේශපාලනඥයෙක්, ආර්ථිකය සම්බන්ධව ප්‍රාමාණිකයෙක්, ආදරණීය සැමියෙක්, දරුවන්ට කට හැර තාත්තේ කිව හැකි චරිතවත් පියෙක්..ගැන පිසාචයන්, පිංපියන්, බඩගෝස්තරවාදීන්, බඩුකාරයන් අවුල්වීම සාධාරණය. මෙහි අසාධාරණයත් රවීට ය. ඒ ඔහු දෙස බලා අවුල් වූ අය අවුලේ සැබෑව සඟවා බොරු කෝටි ගනන් පැවසීමය.

කොළඹ රවී !

අනෙක් අතට රවී කරුණානායක දේශපාලනය කරන්නේ කොළඹය. කොළඹ දේශපාලනය කරන අති බහුතරයට පාතාලය නැතුව බැරිය. නමුත් රවීට කොළඹ දේශපාලනය කරන්න පාතාලය අවශ්‍ය නැත. ඒ රවී සතු අද්භූත බලයක් නිසා නොව ඔහුගේ ඇති මනුෂ්‍යත්වය නිසාය. කොටින්ම රවීගේ PR එක සමග හැරෙන්න හැකි දේශපාලනඥයකු වර්තමානයේ නැත. අන්න ඒ නිසා රවීට පාතාල අනවශ්‍ය අතර කොළඹ ඕන වැඩකට ඕන තරම් මිනිස්සු රවීට ඇත.

රවී සද්ද නැතුව වැඩ !

ඊට ආසන්න සාක්ෂිය කොවිඩ් 19 ඇඳිරි නීතිය අවස්ථාවේ රවී කළ නිහඬ සේවයය. ඇත්තටම කොළඹට පමණක් නොව දිස්ත්‍රික්ක ගණනාවක දුප්පත් ජනතාව වෙත වියළි සලාක සහ එළවළු මළු කීයක් බෙදුවාද රවී දන්නෙත් නැත. මේ බෙදන්නේ දියනියන් තිදෙනකු වෙත උරුම කරන්න ඇති දේපොළ බව රවී හිතන්නෙත් නැත. රවීට අවශ්‍ය අවස්ථාවේ හැටියට නැති කෙනාට හිත පිරෙන්න සැලකීමය. එහෙම බෙදුවා කියා රවී හිඳෙන්නේද නැත. ඒ “දෙන්නාට වැඩි වැඩියෙන් ලැබෙන” ලෝක නියාමය අනුවය. එහෙම රවීට පාතාලන් මොකටද ? ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රවීගේ ඒ කැරැක්ටර් එක පැහැදිලිය. කිළුටු නැත. කොටින්ම රවී කොළඹ වතු ජනතාවගේ දුප්පත්කම දඩමීමා කරගෙන සොත්ථි උපාලිලා හදලා නැත. පාතාලයන් , මැරයන් අවශ්‍ය මිනිස්සු හම්බු නොකළ අයටය.

කොළඹ දේශපාලනය කරන බහුතරයක් දේශපාලනඥයින් රවී සමග උඩින් මෙන්ම යටින් ඔරොප්පු සහ ඊර්ෂ්‍යාව ඒ නිසා බව දතයුතුය.

රවීගේ සල්ලි !

යමෙකුට මෙය රවීගේ සල්ලි කියා හිත හදාගන්න පුළුවන. නමුත් එය සියයට සියයක් නිවැරැදි නැත. රවී කියන්නේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවකු සහ වෘත්තීය ගණකාධිකාරිවරයෙකුය. ඒ හරහා රවී ඇති වෙන්න සල්ලි හම්බකර ඇත. ඒවා නීත්‍යානුකූල ඉපයීම් ය. ඒ හරහා ඇතිවෙන්න මුදල් හම්බකළ රවීට දේශපාලනයෙන් සල්ලි හොයන්න අවශ්‍ය නැත. එහෙත් රවීට අද ගහන්නේ දේශපාලනයෙන් සල්ලි හෙව්වා කියාය.

එහෙත් ඇත්ත එය නොවේය. එය ඉතා පැහැදිලිව රවීගේ දේශපාලන ජීවිතය නැති කරන්න ගහපු මාස්ටර් ගේමක්ය. කෙටියෙන් කිවහොත් දේශපාලනඥයින් කරළියෙන් ඉවත් කරන වැඩ කිහිපයක් ඇත. එයින් ප්‍රධාන ශාරීරිකව ඉවත් කිරීම සහ ප්‍රතිරූපය විනාශ කිරීමය. මෙයින් රවීට එල්ලවූයේ සහ අදටත් එල්ලවෙමින් ඇත්තේ ප්‍රතිරූපය නැසීමය. ඒ බව සාක්ෂි සමග ඔප්පු කරන්න හැකි අතර ඒ ගැන වෙනම ලිවිය යුතුව ඇත.

සිරිසේන සහ පුත්‍රයෝ !

සැබවින්ම අතිබහුතරයක් දේශපාලනඥයින් පොහොසත් වන්නේ දේශපාලන බලය උපයෝගි කරගෙනය. එහෙත් රවී සල්ලි හම්බකළේ ව්‍යාපාර හරහා ය. සැබවින්ම රවී දේශපාලනයෙන් සල්ලි හම්බකරා නම් සිරිසේන පාලන සමයේ ඔහු බන්ධනාගාරයේ ය.

ඒ තරමට හිටපු ජනාධිපති සිරිසේන රවී ගැන සෙව්වේය. ඔත්තු නිලධාරීන් යෙදවීය. අවස්ථා කිහිපයකම අත්අඩංගුවට ගැනීමට කුරුමානම් ඇල්ලීය. කොටින්ම කියනවා නම් 2015 දී ප්‍රජාතන්ත්‍රවාදයේ වීරයකු ලෙස පැමිණි හිටපු ජනාධිපති සිරිසේන අවසානයේ දැක්කත් හිනායන, අඩියක් තිබ්බත් අතක් ඉස්සුවත් උපහාසයට ලක්වෙන තරම් පිස්සෙක් මෙන් වූයේ රනිල්, රවී සහ කිහිපදෙනකුගේ ප්‍රායෝගික දේශපාලනයේ රහස හොයන්න ගිහින්ය.

සැබවින්ම 2015 ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුර 2019 ජනාධිපතිවරණය හමුවේ බිඳ වැටුණු ආකාරය ගැන විමසන සූක්ෂම විමර්ශනයකදී මේ කියන සියල්ල සත්‍ය බව තහවුරු වනු ඇත.

එක් පසෙකින් රනිල්ලා, රවීලා කන බොන හඳින පළඳින කතා කරන ආකාරය දිරවා ගන්න හිටපු ජනාධිපති සිරිසේන ගේ උග්‍ර සහ අන්ත ග්‍රාම්‍ය හීනමානය ඉඩ දුන්නේ නැත. අනෙක් පසින් සිරිසේන වටේ සිටි සිරිකොතට ගල් ගැසූ පව්කාරයන්ගේ එජාප එරියස් එකය. සැබෑවට සිදුවූයේ උග්‍ර හීනමානයක් ඇති සිරිසේනගේ බලය ඉතා සූක්ෂම ලෙස එජාප බලය ඇල්ලීම වෙනුවෙන් සිරිකොතට ගල් ගැසූ පව්කාරයන් භාවිතා කිරීමය. ඒ තුළ රවීගේ දේශපාලන ප්‍රතිරූපය නැසීම පක්ෂ නායක රනිල් දේශපාලනයෙන් ඉවත් කිරීම තරම්ම එකට සිදුවිය යුතු බව ඉලක්ක වූ බව පැහැදිලිය.

පට්ට කෙබර නිව්ස් වුණේ ඒ අනූවය. රවී කරුණානායක ගැන ගැසූ කෙබර නිව්ස් තරමට නඩු ගියා නම් තව ගොඩක් අයට Sorry කියන්න වෙන ඉඩ වැඩිය.

එහෙත් අදටත් රවී මඩකරියන්ගේ ඉලක්කයක් වී ඇතුවා නොවේද ? විශේෂයෙන් අන් කවරදාකටත් වඩා එජාප පාක්ෂික හෘද සාක්ෂිය අවධි කළයුතු මොහොතක් ලෙස මේ මොහොත හඳුනාගෙන කටයුතු කළ යුතුව ඇත.

රවී විශේෂ වන්නේ ඇයි?

අපි සරල ප්‍රශ්නයක් අහන්නම්. රෙද්දේ තුත්තිරි පිරිච්ච දේශපාලන පත්තිනි අම්මලා රවීට කියන කතා , කරන චෝදනා පසෙක තියන්න. පාක්ෂික ඔබ ඉල්ලා සිටි මොන වැඩේද රවී නොකළේ කියන්න ? බලය ඇති කළ ඇමැති කෙනෙක් හමුවෙන්න කොච්චර අමාරුද ? ඒත් රවී ඇමතිතුමා හමුවෙන්න අමාරු වුණේ නෑ නේද ? දහසක් බාධා මැද රස්සාවක් දෙන විට ආසනය හෙව්වේ නෑ නේද ? කැරැක්ටර් එකට ගහලා වට්ටන්න යන්නේ එහෙම PR එකක් තියෙන , බලය ඇති විට වගේම නැති විටත් පාක්ෂිකයන්ට සමීපව සිටින මනුස්සයට නේද ? පක්ෂය, නායකයා සහ පාක්ෂිකයන් දුෂ්කරතාවකට මුහුණදී සිටින සෑම අවස්ථාවකම එයින් ගොඩයන උපාය උපක්‍රම සැකසූ ඒ වෙනුවෙන් වෙහෙසුනු රවී රැකගැනීම පවක් ද ? නැත්නම් පව වන්නේ පක්ෂයත් පාක්ෂිකයත් නන්නත්තාර කරමින් බාහිර පිල්ළි හරහා පක්ෂය නටවන තැනට වැඩ කිරීමද ?

RSL

Related Posts