ජී7 සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජර්මනියේ ෂ්ලොස් එල්මාවු හි සංචාරය කිරීමට නියමිතය. ජී7 සමුළුව ජූනි 26 සහ 27 යන දිනවල ජර්මානු සභාපතිත්වය යටතේ පැවැත්වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කරන බවයි.

පරිසරය, බලශක්තිය, දේශගුණය, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡා කෙරෙන සැසි දෙකක් ඇමතීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වේ. මේ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ උත්සාහයක් ලෙස ආර්ජන්ටිනාව, ඉන්දුනීසියාව, සෙනගල් සහ දකුණු අප්‍රිකාව වැනි අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට ද ආරාධනා කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූයේ සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අනෙකුත් රටවල නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට ජර්මනියේ සංචාරය කළේ මේ වසරේ මැයි 2 වැනිදා ඉන්දියා-ජර්මනි අන්තර් රාජ්‍ය උපදේශනහි හයවැනි අදියර සඳහාය.

ජර්මනියේ පැවැත්වෙන ජී7 සමුළුවට සහභාගී වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජුනි 28 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංචාරය කරනු ඇත. මෙම සංචාරය අතරතුර දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ජනාධිපතිවරයා සහ අබුඩාබියේ පාලකයා ලෙස තේරී පත් වූ ෂෙයික් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ට සුබ පැතීමට ද නියමිත ය.අගමැති මෝදි එදින රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත්ව යනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්