ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ‘ගුවන් හමුදාවේ බලඝණ දෙකකට’ ජනාධිපති වර්ණ

Spread the love

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාජනාධිපති වර්ණ ප්‍රදානය කරයි.

දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියාකළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපතිවරයා කියා සිටී.

ජාතියේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අමතමිනි.

“සුරකිමු ලකඹර” තේමා කර ගනිමින් දශක 07ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 05 ප්‍රහාරක ගුවන් බලඝණය සහ අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයට ජනාධිපතිවරයා අතින් වර්ණ ප්‍රදානය කෙරිණ.

සේනාධිනායකයා සන්නද්ධ හමුදාවකට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ජනාධිපති වර්ණ ප්‍රදානයයි. මේ සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනාධිපති වර්ණ 13කින් පිදුම් ලබා ඇත.

මනුෂ්‍යත්වයේ අගය වටහාගත් අව්‍යාජ ජාත්‍යන්තර සහයෝගීතාව තුලින් දේශ සීමාවෙන් ඔබ්බට පැතිරෙන අභියෝගයනට සාර්ථකව මුහුණදිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. සංකීර්ණ ගෝලීය පරිසර අභියෝග ජය ගැනීමට මනාව සූදානම් වීමේ අවශ්‍යතාව ජනපතිවරයා විසින් අවධාරණය කෙරිණ.

ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වර්ණවත් කිරීමට පැමිණි විදේශීය ගුවන් හමුදා සාමාජිකයනට ප්‍රශංසාව පුද කළ ජනාධිපතිවරයා ජාතීන් අතර මිත්‍රශීලි සබැඳියාව එමගින් ප්‍රදර්ශනය වන බවත්, එම බැඳීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් ශක්තිමත් කළයුතු බවත්  සඳහන් කළේය.

වර්ණ ප්‍රදානයෙන් අනතුරුව කටුනායක මූලික ගුවන් කඳවුරේ සී-130 කඳවුරේ අංක 02 සහ අංක 05 බලඝණ ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ගුවන් නියමුවන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

“ගුවන් හමුදාවේ 70 වසරක ගුවන් බලය” තේමා කොට ගෙන  එයාර් කමාන්ඩර් කොමදෝරු චන්න දිසානායක මහතා විසින් රචිත ග්‍රන්ථය ජනාධිපති වෙත පිළිගන්වනු ලැබීය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය සමග ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව ජනාධිපතිතුමා  ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීය.

( ඡායාරූප : ජිවන්  චන්දිමාල්, සුමින්ද කීර්ති, ඩී. සමරකෝන්, ශාමික වක්වැල්ල – ජනාධිපති මාධ්‍ය අංශය )

Related Posts