ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ පස්වන සමුළුව ඉන්දීය විදුලිබල හා නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රාජ් කුමාර් සිං විසින් නවදිල්ලියේ දී ආරම්භ කරන ලදී.

ඉන්දියාව ජාත්‍යන්තර සූර්ය සන්ධාන සභාවෙහි සභාපති ලෙස කටයුතු කරන අතර ප්‍රංශය සම-සභාපති ලෙස කටයුතු කරයි. සාමාජික සහ අත්සන් කළ රටවල් 110ක සහ අනාගත ජාතීන් 18ක නියෝජිතයින්ට අමතරව, රටවල් 20ක අමාත්‍යවරු 5 වැනි ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගි වූහ.

ලෝකය පොසිල ඉන්ධන මත යැපීම ආර්ථිකයට සහ පරිසරයට අයහපත් බව සමාරම්භක උත්සවයේදී ඉන්දීය මධ්‍යම අමාත්‍ය සිං පැවසුවේය. පෙර වසර දෙකේදී ද මේ බව මතු කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අයහපත් තත්ත්වයනට ප්‍රතිචාර දැක්වීම සඳහා නව ප්‍රතිරෝධයන් හා අවශ්‍ය මෙවලම් ජාත්‍යන්තර සූර්ය සන්ධාන සතුව දැනටමත් පැවතීම ඉතා යහපත් තත්වයක් බව සිං පැවසීය.ලෝකයේ තාක්‍ෂණයේ දියුණුව ඉදිරි වසරවලදී ඊටත් වඩා ඵලදායි සම්පත් ලබා ගැනීමට වග බලා ගනු ඇති බවට ඔහු තර්ක කළේය. ඵලදායි තීරණ ගැනීම අප සතු කාර්යයක් බව ඔහු වැඩි දුරටත් පැවසීය.

බලශක්ති සංක්‍රාන්තිය සඳහා වන මෙම ලුහුබැඳීමේ දී බලශක්තිය සහ බලශක්ති සුරක්ෂිතතාව සඳහා ප්‍රවේශය නොමැති ලෝකයේ ප්‍රදේශවල සංවර්ධනය සක්‍රීය කිරීමේ වගකීම ද සැමට පැවරී ඇති බව ඔහු අවධාරණය කළේය.

ජාත්‍යන්තර සූර්ය සන්ධානයෙහි සූර්යකරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා අඩු වියදම් මූල්‍යකරණයෙන් ප්‍රයෝජන ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍ය බව ඔහු පැවසීය. එමෙන්ම සූර්ය බලශක්තියට සූදානම් ජාතික බලශක්ති රෙගුලාසි සංවර්ධනය කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී සාමාජික රටවලට සහාය වීම ද ජාත්‍යන්තර සූර්ය සන්ධානයෙහි කොටසක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සමුළුවෙහි සම මුලසුන දරමින් ප්‍රංශ ජාත්‍යන්තර හවුල්කාරිත්ව සහ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ක්‍රිසෝලා සචරොපොලූ පැවසූයේ ඉන්දියාව සහ ප්‍රංශය අතර මෙම සන්ධානය කාර්යක්ෂම, ප්‍රතිඵලදායක ජාත්‍යන්තර සංවිධානයක් බවට පත්වී ඇති බවයි.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ගෝලීය ක්‍රියාමාර්ග සඳහා ජාත්‍යන්තර සූර්ය සන්ධානය ප්‍රධාන මුලපිරීමක් බව ප්‍රංශය ගැඹුරින් විශ්වාස කරන බව ඇය වැඩිදුරටත් පැවසී ය. ඇයගේ නිරීක්ෂනයට අනුව ජාත්‍යන්තර සංවිධානයක් වීම සඳහා සන්ධානය කාර්යක්ෂම සහ ප්‍රතිඵල ඉලක්ක කරගත් ඉලක්කයක් කරා ගමන් කරන බව ඇය පෙන්වා දුන්නාය.

ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ පස්වන සමුළුවේ සාකච්ඡා මගින් සූර්ය බලශක්තිය යෙදවීම ප්‍රවර්ධනය කිරීම සඳහා කමිටු අතර වැඩි එකඟතාවයක් ඇති කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්