ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගේ පරිසරයට තිබුණ ආදරයට බූට් එක තියලා

Spread the love

”පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා‘‘ යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙහිදී වත්මන් පරිසර විනාශය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ එරංග ගුණසේකර මහතා,

“පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා. ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගේ පරිසරයට තිබුණ ආදරයට බූට් එක තියලා මේ වෙනකොට. මිනිසුන්ගේ වන සතුන්ගේ ජීවිත අහිමි කරන තැනට පත්වෙලා. අනාගතයේදී අපිට ඔක්ෂිජන් පැකට් එක කඩෙන් ගන්න තැනට පත්කරන්නද හදන්නේ. මේ ජනාධිපතිවරයා පරිසරයට ආදරෙත් නැහැ. ඔහුට පරිසරය රකින්නත් බැහැ. සර්ලාගේ සිස්ටම් එකට පරිසරය රකින්නත් බැරි බව අපි පැහැදිලිව කියනවා. ගහක කොලක වටිනාකම් නොදන්න පුද්ගලයින්ට, සිස්ටම් එකකට මේ දේවල් කියලා වැඩකුත් නැහැ. නමුත් අපේ හුස්ම පොද වෙනුවෙන් අරගල කරන්න අපි සූදානම්. සර්ගේ ඩෝසරයට එරෙහිව පේෂ් ටු පේෂ් සටනකට අපි සූදානම්. අපි මේ රටේ සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කරනවා මේ සටනත් එක්ක එකතු වෙන්න කියලා.” යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකයින් වන අංජන අමරසිංහ සහ සංජය විශ්වනාත් යන අයද එක්වී සිටියහ.

ඔහු එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස්…

“මේ වනවිට ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳර කියලා ගම්පුරා යන්න පටන් අරගෙන තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ ඩෝසරයත් රට වටා යන්න පටන් අරගෙන; රට පුරා පරිසර පද්ධති විනාශ කරන්න පටන් අරගෙන.

ජනවාරි 30වෙනිදා තණමල්විල කුකුල්කටුව ගම්මානයේ කරපු පිළිසඳරත් එක්කම රටේ සංවාදයක් ආවා දහයියාගල අභයභූමිය විනාශ කරන්න පටන් අරගෙන කියලා. සමාජවාදී තරුණ සංගමය විදියට අපි ඒ පිළිබඳ සොයා බලන්න පෙබ. 20 සහ 21 දෙදින දහයියාගලට ගියා. ජනවාරි 30 සිට මාර්තු 01 දක්වා මාසයක් ඇතුළත දැවැන්ත විනාශයකට දහයියාගල රක්ෂිතය පත්වෙලා. දහයියාගල අභයභූමිය අක්කර 6635ක භූමියක් තිබෙනවා. 2002 ජූලි මාසයේ 07 වෙනිදා තමයි මෙය අභ්‍යභූමියක් ලෙස නම් කරලා තිබෙන්නේ. දහයියාගල අලිමංකඩ හරහා දිනකට වන අලියන් 30ක් පමණ එහා මෙහා ගමන් කරන බව පරිසරවේදීන් කියනවා. අභයභූමිය පිටතින් ගම්මාන 30ක් පමණ තිබෙනවා. සමනළ වැවේ සිට කුමන ජාතික වනෝද්‍යානය දක්වා අලි ගමන් කරන බිම්තීරුවේ තමයි දහයියාගල අභයභූමිය මුණ ගැසෙන්නේ.

දහයියාගල අභයභූමිය විශාල විනාශයකට ලක්වෙලා තියෙන බව අපි ඇස් දෙකෙන් දුටුවා. ඡායාරූප විඩියෝ අප සතුව තිබෙනවා. අක්කර ගණනාවක් ජනාධිපතිගේ ඩෝසරයට යටකරගෙන ගිහින් තිබෙනවා. අවුරුදු 75ක් 100ක් පැරණි ගස් කපා දමා තිබෙනවා. ජනාධිපතිවරයා කිව්වේ පාරම්පරික ඉඩම් ගොවියන්ට වගා කරන්න ඉඩ දෙන්න කියලා. නමුත් අක්කර සිය දහස් ප්‍රමාණයක් අලුතින් විනාශ කරලා වගාබිම් බවට පත්කරලා තිබෙනවා. නමුත් ගමේ මිනිස්සු නෙවෙයි මේ ඉඩම් හෙළිපෙහෙළි කරන්නේ. ගමේ මිනිස්සුන්ට ඩෝසර් දාලා කැලෑ කපන්න වත්කමක් නැහැ. ඩෝසරයකට දවසක කුලිය ලක්ෂ තුන හතර වෙනවා. පිටින් පැමිණි කූඨ ව්‍යාපාරිකයින් පිරිසක් තමයි මේ දහයියාගල වන විනාශය කරන්නේ.

ඒ වගේම අපි දැක්කා අඩි විස්ස තිහ උස යකඩ වැටවලින් අලිවැටවල් නිර්මාණය කරලා තිබෙනවා. යෝධ අලි වැටවල් තමයි මේ ව්‍යාපාරිකයින් විසින් හදල තිබෙන්නේ. නමුත් ගමට අලි එනවට ගහන අලිවැට ලාඩප්පා කෝටුවලින් ගහපු මැස්සක් වගේ. අලින් ඉන්න භූමිය අත්පත් කරගෙන දැවැන්ත අලිවැටවල් නිර්මාණය කර තිබෙනවා. ව්‍යාපාරිකයෝ ලක්ෂ තිහ, හතලිහ, පනහ විදයම් කරනවා අලිවැටවල් ගහන්න. මෙවැනි අලිවැටවල් ගහන්නේ ගමේ මිනිස්සු නෙවෙයි කියලා පැහැදිලියි. ගමේ මිනිස්සුන්ගේ ජීවිත ගමේ මිනිස්සුන්ගේ වගා ආරක්ෂා කරන්න මෙවැනි අලිවැටවල් නිර්මාණය නොවෙන බවත් ඉතාම පැහැදිලියි.

තේක්ක සහ බුරුත ගස් කපා දමා විශාල දිග වැටවල් නිර්මාණය කරලා තිබෙනවා. එක ව්‍යාපාරිකයෙක් හෝටලයක් ගොඩනගන්න ආරම්භ කර තිබෙන බව ගමේ වැසියන් කියනවා. කැලේ ඇතුලට යන්න අක්කරය දෙක හෙළිකරලා තිබෙනවා. ඇතැම් ස්ථාන අක්කර සීය දෙසීය හෙළිකරලා තිබෙනවා. අපි පසුගිය පෙබරවාරි 20 සහ 21 දහයියාගලට යනකොට ඒ දින දෙකෙත් කැලෑ කපපු ස්ථාන දැක්කා. මේ වනවිට රාත්‍රී කාලයේ අලි වෙඩි දමා අලි එළවා දමමින් කැලෑ සුද්ද කරන්න පටන් අරගෙන තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් කරන අමනෝඥ වැඩ නිසා කැලෑවල ඉන්න ඉන්න අලි කැලෑවලින් ගම්වදින්න පටන් අරගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ ජීවිත, වගා, ගෙවල් දොරවල් විනාශ වෙන අලිමිනිස් ගැටුමක් නිර්මාණය වෙමින් තිබෙනවා. මීට පෙර 2008 වර්ෂයේදීත් දහයියාගල අභයභූමිය විනාශ කරන්න සූදානම් වුනා. මේ වනවිටත් එම විනාශය යළි ආරම්භ වෙලා. ගමේ වැසියන් බයෙන් ඉන්නවා. මේ වනවිනාශයට එරෙහිව ගම්වාසීන්ට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවෙලා තිබෙනවා. අපි සමාජවාදී තරුණ සංගමය ලෙස කියනවා මේ පරිසර විනාශයට එරෙහි වීම තනි පුද්ගල ක්‍රියාවක් නෙවෙයි කියලා. සර්ගේ ඩෝසරයට එරෙහිව අපි පෙරමුණ ගත යුතුයි.

මේ වනවිට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට ඉඩමක් වෙන් කරන්න කියලා හම්බන්තොට, වල්සපුගල ගොවියෝ උද්ඝෝෂණයක් කරනවා. මේ ප්‍රශ්නය ආවේ 2011දී. එදා හිටපු රාජපක්ෂ ආණ්ඩුව අක්කර 25000කට වැඩි ප්‍රමාණයක් එළිපෙහෙලි කළා වරාය ගුවන්තොටුපල, සම්මන්ත්‍රණ ශාලා හදන්න කියලා. අලි ඉන්න කැලෑ තමයි ඒ විදියට විනාශ කළේ. ඊටපසුව අලි රක්ෂිතයට කියලා දැවැන්ත භූමියක් වෙන් කළා. නමුත් තවමත් ගැසට් කරලා නැහැ. ඒ භූමියත් තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයින්ට වෙන් කරලා දෙන්න පටන් අරගෙන. අද ගොවියන්ට මාරාන්තික උපවාස කරන්න වෙලා අලියන්ට ඉඩමක් දීපල්ලා කියලා. මේ පාලකයින්ට ඒ ප්‍රශ්න විසඳන්න වුවමනාවක් නැහැ. දැන් දහයියාගල ජනතාවටත් තියෙන්නේ එවැනි බියක්. ජනාධිපතිගේ මෝඩ තීරණ නිසා කැලෑ කපපුවාම අලි ගම්වදියි කියලා දහයියාගල මිනිස්සු බයෙන් ඉන්නේ. අලි දන්නේ නැහැ ජනාධිපති කැලෑ කපන්න අවසර දුන්නා කියලා.

මේ වනවිට ලෝකයේ අලිමිනිස් ගැටුම් පවතින රටවල් අතර ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන බව වාර්තා වෙනවා. අපි අවධාරණය කරනවා මේක ජනාධිපතිවරයා නොදැන කරන ක්‍රියාවක් නෙවෙයි කියලා. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වෙන්න කලින් පරිසරය ගැන විශාල පුරාජේරු කිව්වා. නමුත් බලයට පැමිණ ඉතාම සුළු කාලයකින් පස්, වැලි කපන්න තිබුණ බලපත්‍ර අහෝසි කරලා දැම්මා. හිතේ හැටියට පස් වැලි කපන්න, ප්‍රවාහනය කරන්න අවසර දුන්නා. චක්‍රලේඛ අහෝසි කරලා දැම්මා. ගම සමඟ පිළිසඳර කියලා ගමට ගිහින් කිව්වා ‘මගේ වචනය තමයි ගැසට් එක, මම කියන දේ ක්‍රියාත්මක කරන්න’ කියලා. නිලධාරීන්ට බලපෑම් කලා නඩු ඉවත් කරගන්න කියලා. දැන් රට පුරා පරිසරය විනාශ කිරීමේ රැල්ලක් පටන් අරගෙන තිබෙනවා. ලංකාවේ ඉන්න කූඨ ව්‍යාපාරිකයින් තමන්ගේ කළු සල්ලි වියදම් කරමින් ජනාධිපතිගේ අනුදැනුම ඇතිව කෑලෑ කපමින් ඉඩම් අල්ල ගන්න පටන් අරගෙන තිබෙනවා.

පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා. ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගේ පරිසරයට තිබුණ ආදරයට බූට් එක තියලා මේ වෙනකොට. මිනිසුන්ගේ වන සතුන්ගේ ජීවිත අහිමි කරන තැනට පත්වෙලා. අනාගතයේදී අපිට ඔක්ෂිජන් පැකට් එක කඩෙන් ගන්න තැනට පත්කරන්නද හදන්නේ. මේ ජනාධිපතිවරයා පරිසරයට ආදරෙත් නැහැ. ඔහුට පරිසරය රකින්නත් බැහැ. සර්ලාගේ සිස්ටම් එකට පරිසරය රකින්නත් බැරි බව අපි පැහැදිලිව කියනවා. ගහක කොලක වටිනාකම් නොදන්න පුද්ගලයින්ට, සිස්ටම් එකකට මේ දේවල් කියලා වැඩකුත් නැහැ. නමුත් අපේ හුස්ම පොද වෙනුවෙන් අරගල කරන්න අපි සූදානම්. සර්ගේ ඩෝසරයට එරෙහිව පේෂ් ටු පේෂ් සටනකට අපි සූදානම්. අපි මේ රටේ සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කරනවා මේ සටනත් එක්ක එකතු වෙන්න කියලා.

Related Posts