ආණ්ඩුවේ කොරා්නා පාලනයත් ‘ධම්මික පැණිය වගෙයි’ – බිමල් රත්නායක

Spread the love

අන්ත අරාජික නූගත් උද්දච්ඡ දේශපාලන තීන්දු ගන්නා ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය තම නොහැකියාව හා උද්ධච්ච හැසිරීම වසා ගැනීමට පී.සී.ආර්. පරීක්‍ෂණ සූදුව ඉතා හොඳින් ගෙන යනවා‘‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (03) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී විය.

එහිදී බිමල් රත්නායක සහ නලින්ද ජයතිස්ස කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

‘‘රට පුරා භයානක අන්දමින් වර්ධනය වෙමින් තිබෙන, ඒ වගේම අයාලේ යාමට ඉඩ හැර තිබෙන කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ජනතාව සහ අදාල බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මේ මාධ්‍ය හමුව පවත්වනවා. පසුගිය සති තුනකට ආසන්න කාලයක් තුළ සතියක් තුළදී කොරෝනා ආසාධිතයින් 10,000කට වැඩි ප්‍රමාණයක් බැගින් වර්ධනය වෙමින් තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය මෙම ආසාධිතයින් සංඛ්‍යාව පී.සී.ආර්. පරීක්‍ෂණ 15,000 වගේ මට්ටමක් තුළ වාර්තා වන බව ප්‍රකාශ කර තිබෙනවා. ලෝකයේම ගත්තත් ආසාධිත ප්‍රතිශතය ඉහළ අගයකට ගොස් තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය කරුණු දෙකක් අවධාරණය කරනවා.

එකක් තමයි පී.සී.ආර්. පරීක්‍ෂණවලින් වාර්තා වන ප්‍රමාණය “ඊයේ” කියලා සඳහන් නිවේදනවල වාර්තා වෙන්නේ දින තුනකට පෙර ආසාධිතයින් බව. මේක බරපතළ තත්වයක්. අපේ රටේ වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගෙන මාස 15කට පස්සෙත් ඊයේ තිබිච්ච තත්වය හරියට කියන්න බැරිනම් ආණ්ඩුවේ කලමණාකරණය පිළිබඳ බරපතළ ගැටලුවක් පැන නගිනවා. වේගයෙන් පැතිරෙන වසංගත තත්වයක් හමුවේ මෙය ඉතා භයානක තත්වයක්. ඊයේ(02) මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමේ ප්‍රකාශයක් උපුටාගෙන මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බිම් මට්ටමේ රාජකාරී කරන දත්ත අනුව කොරෝනා මරණ ප්‍රමාණය පිළිබඳව සැකයක් තිබෙන බවයි. අපිටත් මේ බරපතළ සැකය තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අහඹු පරීක්‍ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් රිමෝට් කන්ට්‍රෝල් එක වගේ දත්ත වැඩි කරන, අඩු කරන තත්වය ගැන අනතුරු අඟවා තිබෙනවා. ආසාධිතයන් අඩුවෙන් කියන්න ඕනෑ නම් ඒ වෙනුවෙන් මොන ප්‍රදේශවල පී.සී.ආර්. කළ යුතුද කියලා දැන් දන්නවා. ආසාධිතයින් වැඩියෙන් දක්වන්න ඕනෑ නම් ඒ පී.සී. ආර්. සංඛ්‍යාවම කළ යුත්තේ මොන ප්‍රදේශවලද කියලත් දන්නවා.

පී.සී.ආර්. ප්‍රමාණය උඩ පහළ යවමින් සහ තම තමන්ට ඕනෑ ප්‍රදේශවල පී.සී.ආර්. කරමින් දේශපාලන සූදුවක් ආණ්ඩුව කරන බව පැහැදිලි වෙනවා. තමන්ගේ අන්ත අරාජික නූගත් උද්දච්ඡ දේශපාලන තීන්දු ගන්නා ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලයේ මේ හැසිරීම වහගන්න පී.සී.ආර්. පරීක්‍ෂණ සූදුව ඉතා හොඳින් ගෙන යනවා. මේ තත්වය තුළ මරණ ප්‍රමාණය ඉතා බරපතළ තත්වයක්. මේ නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන්ට අවබෝධයක් ලැබී තිබෙනවා. වෘත්තීය සමිති නැති ක්‍ෂේත්‍රවලට තමන් දකින බරපතළ තත්වය කියා ගන්න බැරිව ඉන්නවා. කාර්ය සාධක බලකායක් තියෙනවා. හමුදාපතිවරයා විවිධ දේවල් කියනවා. දෙහිඅත්තකණ්ඩියේ රෝගීන් හැටකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න පහසුකම් නැතිව පැය හයක් තිස්සේ මුළු රැයක් පුරා කැබ් රථයක ගෙනගිය ආකාරය ඡායාරූපත් සමග වාර්තා කර තිබුණා. මේ වගේ වාහනයකින් රෝගීන් ප්‍රවාහනය කරනවා නම් තිබෙන තත්වය මොකක්ද? බස් එකක්, ඇම්බියුලන්ස් එකක්, වෑන් එකක් දෙන්න බැරිනම් මේ කාර්ය සාධනය මොකක්ද? මෙහෙමද ලෙඩ්ඩු ප්‍රවාහනය කරන්නේ?

තමන්ගේ නොහැකියාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉතාමත් සරල තැන්වලින් පවා එළියට ඇවිල්ලා තියෙනවා. අපි මෙතන ප්‍රශ්න කරන්නේ එන්නත ගැන නෙවෙයි. නමුත් කාර්ය සාධනය කරන්නේ මෙහෙමද? කොරෝනා පිළිබඳව අඩුම ගානේ 06දෙනෙක් ප්‍රකාශ නිකුත් කරනවා. හමුදාපතිවරයා, ජනාධිපති මාධ්‍ය අංශය, සෞඛ්‍ය ඇමතිවරිය, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, චන්ද ජයසුමන අමාත්‍යවරයා සහ කොරෝනා සම්බන්ධම රාජ්‍ය ඇමති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ නිකුත් කරනවා. එකම ප්‍රශ්නය ගැන මේ හය දෙනා විවිධ දේවල් කියනවා. මේ ඔක්කොටම අමතරව මැදිහත් වෙමින් ජනාධිපතිවරයාට හිතෙන දේවල් කියනවා. මේක ජංජාලයක් වෙලා තියෙන්නේ. එක මොහොතකදී සම්පූර්ණ උත්සව නතර කරන බව කිවුවා. ඊට පස්සේ විවාහ මංගල උත්සවවලට බලපාන්නේ නැහැ කියලා හමුදාපතිවරයා කිවුවා. මේ නිසා බිම් මට්ටමේ පී.එච්.අයි මහත්වරු, එම්.ඕ.එච්. කාර්යාලවල ඉන්න වෛද්‍යවරු බැනුම් අහනවා. අඩු ගානේ මේ තුන්වැනි රැල්ලටවත් එක ප්‍රකාශකවරයෙක් පත්කර නැහැ.

අපිට එන්නත් ලැබුණේ ලක්‍ෂ දොළහයි. ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර තිබුණේ මරණ අඩු කරගන්න මුලින්ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ අය සහ වැඩිහිටියන්ගෙන් පටන් ගන්න කියලා. නමුත් ලක්‍ෂ 12ක් එන්නත් ආවාට පස්සේ මුල් අදියරේදී ලක්‍ෂ 06කට ලබාදී ඉතිරි ලක්‍ෂ 06 දෙවැනි අදියරේදී දෙන්න සැලසුම් කර තිබුණා. නමුත් ජනාධිපතිවරයා ඒක ඇනුවා. එන්නත් ඕනෑ තරම් ලැබෙනවා කියලා. වයස අවුරුදු 30ට වැඩි අයටත් දුන්නා. කොළඹ නගරයේ එක පෝලිමක වයස අවු. 60ට වැඩි අයට දෙන අතර තවත් ග්‍රාම සේවක වසමක වයස අවු. 30ට වැඩි අයටත් දුන්නා. මේ රාජ්‍ය පාලනයද? ඊයේ පෙරේදා දෙවැනි මාත්‍රාව දෙන්න පටන්ගෙන තිබෙනවා. ඊට අවශ්‍ය ප්‍රමාණය තියෙනවාද කියලා අපි දන්නේ නැහැ. මුල් වටයේ දුන් වැඩිහිටයන්ගේ දෙවැනි මාත්‍රාව ලබාදිය යුතු කාලය ඉක්ම ගොස් තිබෙනවා. මගේ මවටත් එහෙමයි. නොමිලේ ලබාදුන් එන්නත් ටික හරියාකාරව කරන්න නොදී ආණ්ඩුවෙන් ඇනුවා.

අනික් පැත්තෙන් ආණ්ඩුව වානිජ අරමුණු වෙනුවෙන් රට ඉබාගාතේ ඇරියා. පළවැනි රැල්ල, දෙවැනි රැල්ල ඇතිවූ අවස්ථාවල හැඳින්වූයේ කොරෝනා පොකුරු කියලා. මාස 10ක් විතර තිස්සේ පෑලියගොඩ පොකුර කියලා ආණ්ඩුව හඳුන්වමින් තිබුණා. රටේ කොහෙන් හමුවුණත් ඒ හැඳින්වීම වැරැද්දක්. අඩු ගානේ මේ සම්බන්ධයෙන් හඳුන්වන්න තැනක් තිබුණා. ලෝකය පුරා කොරොනා පොකුරු කියන්නේ ඇයි? මේ සාහිත්‍යාර්ථයකින් නම් දැම්මා නෙවෙයි. නිශ්චිත ප්‍රදේශයක පවතින තත්වය ගැන නිවැරදි අදහසක් දෙන්න. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ වියත් මග ආණ්ඩුව දැන් “අවුරුදු පොකුර” කියලා දැම්මා. අවුරුදු පොකුර කොහෙද තියෙන්නේ? සෞඛ්‍ය නිලධාරීන්ට මෙහෙම පොකුරක් හොයන්න තියෙන්නේ කොහෙන්ද? මේ නාමකරණයේ තිබෙන මගපෙන්වීම මොකක්ද? දැන් ඊළඟට එන්නේ වෙසක් පොකුරද? ඉන්දියාවේ ඉන්නෙත් මේ ජාතියේම උද්දච්ඡ තකතීරු තීන්දු ගන්න පාලකයෝ. අති දැවැන්ත සම්පත් තියෙද්දී, අබ්දුල් කලාම්ලා වගේ ඉහළම විද්‍යාඥයෝ නායකත්වය දැරූ රටක අද ඔක්සිජන් නැතිව මිනිස්සු මැරෙනවා. එවැනි වූ ඉන්දියාව කුම්භ මේලා පොකුර කියලා නාමකරණයක් කළේ නැහැ. ධම්මික පැනිය වගේම තමයි ජනාධිපතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවේම කොවිඩ් පරිපාලනය. මුලු ආණ්ඩුවම ධම්මික පැණයක්.

අති විශිෂ්ඨ කාර්ය මණ්ඩලයක් ඉන්න, නොමිලයේ සෞඛ්‍ය පහසුකම් ලබාදෙන සැකිල්ල හරි තියෙන රටක, සාක්‍ෂරතාවය 95% පැනලා තියෙන රටක මොනවද මේ කරන්නේ? රට විද්‍යානුකූලව පරිපාලනය කරලා ගෙනියන්න තිබුණු තත්වය අවුල් කළේ මේ ආණ්ඩුව. මේ සෞඛ්‍ය ඇමතිතුමිය ධම්මික පැණිය බීලා, ආණ්ඩුවේ සහ පෞද්ගලික නාලිකා යොදාගෙන ජනතාව අතරට ප්‍රචාරයන් යැව්වා. බොරු දේශප්‍රේමී කතන්දර වපුරලා මුළු රටක් රාජ්‍ය අනුග්‍රහයෙන් මේ පිස්සුව පස්සේ එළෙව්වා. අද මොකද වෙලා තියෙන්නේ? මේවට ආණ්ඩුව සහ නාලිකා වගකියන්න ඕනෑ නැද්ද? ආණ්ඩුවම ධම්මික පැණිය වගේ තමයි. මේව සරල නැහැ. ව්‍යසනය පාලනය කරන්න ක්‍රම ලෝකය පුරා තියෙද්දී ඒවා නොකර ආණ්ඩුව සහමුලින්ම මේක අවුල් කළා.

ඒ වගේම කොරෝනා තත්වය හමුවේ ජනතාවට ලබාදිය යුතු අත්‍යාවශ්‍ය සහන තවම ලබාදෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් සියලුම දරුවන්ගේ ඉගැන්වීම් රූපවාහිනියෙන් කරන්න කියලා අපි ඇතුලු බොහෝ දෙනක් පෙන්වා දුන්නා. දරුවන්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න කීවා. අවුරුද්දක් තිස්සේ පොඩි දරුවන්ගේ අධ්‍යාපනය සහමුලින් බිඳවැටිලා ඉවරයි. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග, එයින් කරන ගසාකෑම් වගේ මාස 14කට පසු ආණ්ඩුව අනාගෙන තිබෙන කරුණු රැසක් තිබෙනවා. අඩියක් අඩියක් ගානේ, වචනයක් වචනයක් ගානේ අපි යමින් සිටින්නේ ඉන්දියාව ගිහින් තියෙන මාර්ගයේම තමයි. ඒ නිසා අපි බරපතල අනතුරු ඇඟවීම් සිදුකරනවා.

උද්දච්ඡකම්වලින් වසංගතයට මුහුණ දිය නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි – වෛද්‍ය නලින්ද ජයතිස්ස

අපට බලපා තිබෙන වසංගතයේ ගැඹුර පිළිබඳව සමාජයට අවබෝධයක් ඇතැයි අපි සිතනවා. කොරෝනා වසංගය මර්දනය කරගැනීමේ වාසිදායක සාධක තුනක් අපේ රටට තිබෙනවා. පළමුවැන්න ලංකාව දූපතක් වීම, දෙවැන්න බිම් මට්ටම දක්වා ක්‍රියාත්මක සෞඛ්‍ය යාන්ත්‍රණයක් තිබීම සහ තෙවැන්න උපදෙස්වලට අනුගත කරගැනීමේ හැකියාව ඇති ජනතාවක් සිටීමයි. නමුත් මේ වාසිදායක සාධක කිසිවක් අද කොවිඩ් පාලනයේදී යොදාගන්නා බව පේන්නේ නැහැ.

මෙය වෛරස්වලින් ව්‍යාප්ත වන රෝගී තත්වයක්. වෛරසයක් නිරතුරුව වෙනස් වෙනවා. එම නිසා වෛරස් නිට්ටාවටම සුව කළ හැකි ඖෂධ තවම ලෝකයේ සොයාගෙන නැහැ. මේවා අලුත් කරුණු නෙමෙයි, ලෝකයම දන්න විද්‍යාත්මක කරුණුයි. අපි වසංගතයට මුහුණ දිය යුතු වන්නේ මේ කරුණු දැනගෙනයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයක් තිබෙනවා. රටේ ඒ පිළිබඳ වෛද්‍යවරුන් සිටිනවා. ඒ වගේම ජයවර්ධනපුර වැනි විශ්වවිද්‍යාලවල වෛරස් හා වසංගත පර්යේෂණ ඒකක තිබෙනවා. අපේ රටේ වසංගත මර්දනය කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු වන්නේ මේ සියලු දෙනා සම්බන්ධ කර ගනිමිනුයි. නමුක් දැන් සිදු නොවන දෙය වන්නේත් එයයි. මේ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය මාස 04කට පමණ පෙර ලංකාවට ඇතුල් වී තිබෙනවා. පසුගිය අප්‍රේල් 08වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම මේ ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් ඇති බව රටට කියා තිබුණා. පීසීආර් මගින් මේ වෛරසය සොයා ගැනීමෙන් පසුව ඔවුන් එය ආණ්ඩුව ප්‍රමුඛ කාර්ය සාධක බලකායට, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන්නා.

ඒත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීන්දුව කුමක්ද? මේ නව ප්‍රභේදය වැඩිපුර පැතිරෙන බවත් වඩා මාරාන්තික බවත් තරුණ අයට පවා වැළඳෙන බවත් ලෝකය ඒ වන විටත් සොයා ගෙන තිබුණා. ඒ නිසා අපි ඉන්නේ මුල් යුගයේ මෙන් මේ පිළිබඳ තොරතුරු නොදන්නා කාලයක නෙමෙයි. ඒ තොරතුරු තිබියෙදී තීන්දු ගැනීමේ ගැටලුවක් ඇති බව පේනවා. කොවිඩ් වෛරසය ලංකාවට ඇතුල්වී මාස 14කට පස්සෙත් අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ වසංගත රෝග විශේෂඥයින් ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් කණ්ඩායමකට මේ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ වගකීම පවරා දෙන ලෙසයි.

වසංගත රෝග ඒකකය පවත්වා ගෙන යන්නේ ආණ්ඩුවට අවශ්‍ය දේවල් කියාගන්න සහ සාධාරණීකරණය කරගන්න නෙමෙයි. දෙවැනි රැල්ල ආ පසු ආණ්ඩුව එයට කිරිබත්ගොඩ/පෑලියගොඩ පොකුර ලෙස හැඳින්වූවා. රට පුරා කොහෙන් අහුවුණත් එම පොකුරට දැම්මා. ඒ වෙලාවෙ ආණ්ඩුවට වුවමනා වුණේ රෝගය සමාජ ගත වී නොමැති බව කීමටයි. තව පොකුරු රට පුරා හමුවන බව කිවුවානම් රෝගය සමාජගත වී ඇති බව පේනවා. ඒ අවස්ථාවට අනුව ගත හැකි පියවර තිබුණා. නමුත් ආණ්ඩුවට රෝගය සමාජගත වී නැතැයි රටට කියන්න අවශ්‍ය වුණා. සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු හමුවූ සියලු ආසාධිතයින් ආණ්ඩුව ඒ පොකුරට ඇතුළත් කළා. ආණ්ඩුවේ මතය තහවුරු කරගන්න සෞඛ්‍ය අංශ පාවිච්චි කරගත්තා.

අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිවරුන් හතරදෙනෙක් සිටිනවා. ඒ අය අතර වසංගත රෝග පිළිබඳව, ප්‍රජා සෞඛ්‍යය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියක් ඉන්නවා. කොවිඩ් පිළිබඳ රාජ්‍ය ආමාත්‍යාංශය භාරව සිටින්නේ ඇයයි. කොවිඩ් වසංගතය පිළිබඳව තීන්දු ගන්නා අය අඩුම කරමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිතුමිය කියන දේවල්වලටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. සෞඛ්‍ය අංශ විසින් සංචරණ සීමා පැනවිය යුතු බවට යෝජනා කළ විට ඒ යෝජනාව පරාජයට වී තිබෙනවා. සෞඛ්‍ය අංශවලින් කරන ලද යෝජනාව පරාජය වූ නිසා මම මහත් කණස්සල්ලෙන් සිටින බව ඇය එළියට පැමිණ මාධ්‍යයට කියනවා. එවැනි විශේෂඥයින්ගේ යෝජනාවක් විසි කර දමන්න තරම් හැකියාවක් ඇත්තේ කාටද? අපි හිතන්නේ ඒ හමුදාපතිවරයා නෙවෙයි; ඒ ඔහුටත් උඩින් ඉන්න ජනාධිපතිවරයා විය යුතුයි. ඔහුගේ සිතැඟියාවන් තමයි ක්‍රියාත්මක වන්නේ. ඔහු දන්නා හා නොදන්නා දේ තිබිය හැකියි. හැම දෙයක්ම තමන් දන්නවා යැයි සිතා කටයුතු කිරීමට ගියහොත් ඒ වරදින්නේ රටටයි. මේ ගන්නා තීන්දු වැරදීමෙන් ජනතාවගේ ජීවිත අහිමි වූ විට තවත් අවුරුදු තුනකින් හතරකින් ජනාධිපතිවරුන්ට. මැති ඇමතිවරුන්ට පාඩම් ඉගැන්වීමෙන් පලක් නැහැ. ඒ අහිමි වන ජීවිත අපිට ගන්න බැහැ. ඒ ජීවිත රැකගත හැක්කේ විද්‍යාත්මක පදනමක් මත ඒ මොහොතේ තීන්දු තීරණ ගැනීමෙන් පමණයි.

අපි මාස 14කට කලිනුත් ආණ්ඩුවට යෝජනා කළා, මේ වසංගතයට මුහුණ දීම සඳහා මේ වෙනුවෙන් කැපවිය හැකි, දැනුම තිබෙන, විශේෂඥභාවය ඇති සියලු දෙනා සම්බන්ධ කරගත් යාන්ත්‍රණයක් පිහිටුවන්න කියලා. නමුත් තවමත් ආණ්ඩුව එවැන්නකට සූදානම් නැහැ. අපි නැවතත් ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ වසංගතයට මුහුණ දීමේදී වසංගත රෝග විශේෂඥයින් ප්‍රමුඛ කර ගත් යාන්ත්‍රණයක් සකස් කරන්න කියලයි. ප්‍රකාශ නිකුක් විය යුත්තේ එතැනිනුයි.

බොහෝ විට තවමත් කෙරෙන්නේ අශ්වයා පලා ගිය විට ඉස්තාලය වසා දමනවා වැනි තීන්දු ගැනීම්. සංචරණ සීමා පැනවෙන්නේ රෝගීන් ගණනාවක් එම ප්‍රදේශයෙන් වාර්තා වූවාට පසුවයි. තත්වය මෙසේ වන්නේනම් අපට තවත් සෑහෙන කාලයක් පාසල්, විශ්වවිද්‍යාල විවෘත කිරීමට ලැබෙන එකක් නැහැ. මේ සමාජය සාමාන්‍යකරණය කරන්න හිතනවානම් ආණ්ඩුව විසින් කළ යුතු වන්නේ රෝගීන් විශාල ලෙස වාර්තා වීමට පෙර පියවර ගැනීමයි. රෝගය පැතිරීම පිළිබඳව සංඥා ලැබුණු විගසම සමහර ප්‍රදේශ වසා දැමීමට, සංචරණ සීමා පැනවීමට සිදු විය හැකියි. පසු ක්‍රියාමාර්ග ගැනීමෙන් එතරම් ප්‍රතිඵලයක් අත්වන්නේ නැහැ.

පීසීආර් පරීක්ෂණවලින් අපි යම් තොරතුරක් ලබාගන්නවානම් අවම තරමින් ඒවායේ ප්‍රතිඵල පැය 24ක් තුළ ලබා ගත යුතුයි. ඒ නිසා තමයි මේ රටේ ජනතාව පීසීආර් යන්ත්‍ර ප්‍රමාණය වැඩිකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ. ඇතැම් තැනක පරිත්‍යාගශීලීන් එකතු වී රෝහල්වලට යන්ත්‍ර අරන් දුන්නා. ගම සමග පිළිසඳරේදී මීමුරේ ගම්වැසියෙක් ජනාධිපතිවරයාගෙන් තමන්ගේ රෝහලට යන්ත්‍රයක් ලබා දෙන ලෙස ඉල්ලුවා. ජනාධිපතිවරයා එතරම් කල්පනා නොකළ නිසා පීසීආර් යන්ත්‍ර අනවශ්‍ය බව කිවුවා. අද ඒවා නොමැතිකමේ ප්‍රතිඵල පේනවා. අදටත් පීසීආර් සිදුකෙරෙන්නේ 15,000-20,000 අතර ප්‍රමාණයක්. පැය 24ක් ඇතුළත මේවායේ ප්‍රතිඵල ගැනීමට හැකිනම් සෞඛ්‍ය බලධාරීන්ට රෝගයේ ව්‍යාප්තිය හා ප්‍රමාණය පිළිබඳව අදහසක් ජනතාවට කිව හැකියි. තවමත් ප්‍රමාණවත් තරම් පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි වී නැහැ. එය වහාම කළ යුතුයි.
මේ වන විට සමහර රෝගවලට අවශ්‍ය ඖෂධ හිඟයක් ඇතිවී තිබෙනවා. කොවිඩ් රෝගය සමග එන සමහර ස්වශනාබාධ හා සංකූලතා සඳහා අවශ්‍ය ඖෂධ හිඟ වී තිබෙනවා. ඒවා සොගැනීමට ජනතාවට විශාල වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා. කොවිඩ්වලට සම්බන්ධ නැති වෙනත් රෝගවලට අදාළ ඖෂධ හිඟයක්ද තිබෙනවා. සංචරණය සීමා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කිවුවත් රෝගීන්ට ඖෂධ සොයමින් සංචාරය කිරීමට සිදුව තිබෙනවා. මෙය ඔවුන් කොවිඩ් අවදානමට ලක්වීමට හා එම රෝගවලින් සංකූලතා ඇතිවීමට අවසානයේ මරණය පත්වීමට හේතුවනවා. මේ පිළිබඳව ආණ්ඩුවේ අවධානය වහාම යොමු විය යුතුයි.

එන්නත් සම්බන්ධ ප්‍රශ්නය බරපතළ වී තිබෙනවා. එන්නත් නිෂ්පාදනයේ ගැටලුව, එන්නත් නිෂ්පාදනයේදී මේ අමනෝඥ ආණ්ඩු විසින් කළ හැකි ව්‍යාකූලත්වය හඳුනාගත් නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය ඒවා බෙදාහැරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් යෝජනා කළා. පළමුවෙන්ම ඒවා සෞඛ්‍ය සේවකයන්ට ලබා දෙන ලෙස ඉල්ලුවා. ඊළඟ කොටස 60ට වැඩි අයටත් ඊළඟ කොටස නිදන්ගත රෝග තිබෙන අයටත් දෙන ලෙස ඉල්ලුවා. මේක එන්නත පිළිබඳ පර්යේෂණ කරන කාලෙදිම කියපු දෙයක්. නමුත් ආණ්ඩුව එන්නත් ලක්ෂ 12ක් හමුවූ විට හැමෝටම එය විදින්න උත්සාහ කළා. අද දෙවැනි මාත්‍රාව දිය යුතු කාලය තීරණය කරන්නේ ආණ්ඩුවට ඒ එන්නත් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ කවදාද කියන එක අනුවයි. විශේෂඥයින්ගේ තීරණය අනුව නොවෙයි. මුලින් කිවුවේ සති 03කින් දිය යුතු බවයි. අද සති 12ක් වී තිබියෙදීත් පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව ලැබී නැහැ. අද ආණ්ඩුව පළමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා ගහලා දෙවැනි එක වෙනත් එකක් ගැහුවාට කමක් නැහැ කියන තැනට ඇවිත් ඉන්නවා. ආණ්ඩුව ජනතාවට ප්‍රමාණවත් තරම් එන්නත් ලබා දීමට කඩිනමින් මැදිහත් විය යුතුව තිබෙනවා.

ඔක්සිජන් සැපයීම පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. ඔක්සිජන් පිළිබඳ ගැටලුව වන්නේ ඒවා ප්‍රවාහනය හා ගබඩා කිරීම පිළිබඳ ගැටලුවයි. නව බි්‍රතාන්‍ය ප්‍රභේදය වැනි නිව්මෝනියා තත්වයට වේගයෙන් පරිවර්තනය වන රෝගී තත්වයකදී අපට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය හා ලබා දිය හැකි ආකාරය පිළිබඳව ආණ්ඩුවට තක්සේරුවක් තිබිය යුතුයි. සමහරු මේ සිලින්ඩර් ගබඩා කර තබාගැනීමටත් උත්සාහ කරන බවට වාර්තා වනවා. මේ නිසා මේ ගැටලුව බරපතළ ලෙස සලකන මෙන් අපි ආණ්ඩුවට කියනවා.
ලංකාවේ අයිසීයූ ඇඳාන් නිෂ්පාදනය කරන බවට ආණ්ඩුව දේශපාලන සංදර්ශන කළා. කර්මාන්ත ඇමතිවරයා ඇඳන් නිරීක්ෂණය කරන ආකාරය අපිට පෙන්නුවා. ඒ ඇඳන් කොහෙද? එහෙමනම් රෝගීන් ඇඳන් නැතුව මිය යන්නේ ඇයි? කොවිඩ් ආසාධියන් රෝහල් ගත කිරීමේ හා මධ්‍යස්ථානයන්ට යොමු කිරීම ව්‍යාකූල වී තිබෙනවා. කොළඹින් පොසිටිව් වන රෝගීන් මඩකලපුවට, පොළොන්නරුවට යවනවා. රෝගීන් රට පුරා නොයවා ඔවුන්ට ළඟ තැනක පහසුකම් ලබා දිය යුතුව තිබෙනවා. සංකූලතා සහිත රෝගීන් රෝහල්වලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.

වසංගත රෝග විශේෂඥයින් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මීට සම්බන්ධ සියලු දෙනා විසින් සකස් කරන සැලැස්මකට අනුව තීන්දු තීරණ ගැනීමට රෝගීන් පිළිබඳ දත්ත සහිත පිරිස, විශේෂඥ දැනුම සහිත පිරිස, ක්‍රියාත්මක වීමේ හැකියාව සහිත පිරිස සම්බන්ධ කර ගත් පුළුල් වැඩපිළිවෙළක් දැන්වත් සකස් කිරීමට පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවෙන් දැඩිව ඉල්ලා සිටිනවා. උද්දච්ඡකම්වලට, අපරිණතකම්වලට ප්‍රශ්න විසඳිය නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…

ඊයේ(02) හවස ඉඳලම හොයල බලපු තොරතුරු අනුව ප්‍රදේශ වහන එක සහ අරින එක කිසිම විද්‍යාත්මක පදනමකට සිදු නොකරන බව පැහැදිලි වෙනවා. ග්‍රාම සේවා වසම් විවෘත කළත් ආසන්න නිවාස ගණනාවක් නිරෝධායනයකට ලක්කර තිබෙන බව හෙළිවී තිබෙනවා. මම එක දෙයක් පැහැදිලි කරන්න ඕනෑ. ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංවිධානය දීර්ඝ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එය ඔක්සිජන් සම්බන්ධ ප්‍රශ්නය මුල් කරගෙන නිකුත් කරලා තිබෙන්නේ. ඒ අතරේ පැහැදිලිවම කියන්නේ මෙයට මුහුණ දීමට නිසි සැලැස්මක් නැහැ කියන එක. අනික් පැත්තෙන් ලංකාව හමුවේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ඔක්සිජන් නොවන බවත් කියනවා. සෞඛ්‍ය අංශවලට විතරක් දවසකට ටොන් 25ක් අවශ්‍යයයි. නමුත් ලංකාවේ තිබෙන ඔක්සිජන් නිෂ්පාදන සමාගම් දෙකෙන් දවසකට ටොන් 100ක් නිෂ්පාදනය කරනවා. කොම්පැනියේ ඔක්සිජන් හැදුවාට ලෙඩාට යන්නැත්නම් වැඩක් නැහැ. මේ වෙනුවෙන් නිලධාරීන් අවශ්‍යයි. ඉන්දියාවේ විශාලා මහනුවර පෙනි පෙනීත් අපේ රටේ තාමත් සැලැස්මක් නැහැ කියලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. දේශපාලන මැදිහත්වීම් තුළ ඇතිවී තිබෙන්නේ මේ වගේ තත්වයක්.

ආණ්ඩුව සහමුලින්ම ජනතාව බිලිදී තිබෙනවා කියන එක කියන්න වෙන්නේ. සමහර රෝගීන් ගෙනියන්න එන්නේ නැහැ. ආශ්‍රිතයන් පී.සී.ආර්. කිරීමේ ක්‍රමවේදයක් නැහැ. කරන පී.සී.ආර්.වල ප්‍රතිඵල එන්න සමහර තැන්වල සතියකට වඩා යනවා. ලංකාවේ ඉතාම ධන කුවේරයින් පිරිසක් මොන තත්වයක් යටතේවත් ඔවුන්ගේ ව්‍යාපාරවලට බලපෑම් නොවෙන්න දැඩි බලපෑම් කර තිබෙනවා. ඉන්දියාවේ ඒ වැනි අයගේ ව්‍යාපාර පවත්වාගෙන යන අතරේත් ඒ ව්‍යාපාරිකයෝ පැනලා යනවා. ඒක විශේෂයක්. එංගලන්තයට, මැඩගස්කරයට, සමහර විට ලංකාවට පවා ආව ධන කුවේරයන් ගැන විස්තර තියෙනවා. ඩොලර් 20,000 ගෙවලා රටෙන් පැනලා ගිහිල්ලා ඉන්දියාවේ තියෙන පැක්ටරි වහලා නැහැ. ලංකාවේ පැක්ටරිවල එක ලයින් එකක එක් අයෙකුට කොවිඩ් වැළඳුනොත් එයාව අයින් කරලා ලයින් එක වැඩ කරනවා. බෝඩිංවල සීයක් වගේ ඉන්න තැන්වල වැළඳුනොත් ඒ අය අයින් කරලා අනික් අයව තියාගෙන වැඩ කරනවා. මෙයින් පැහැදිලි වෙන්නේ ආණ්ඩුව, ජනතාව බිලි දීලා තියෙන බව. මේ මාධ්‍ය හමුව පවත්වා ආණ්ඩුව මේ කරන අනතුරුදායක සෙල්ලම පිළිබඳව නැවතත් කරුණු ඉදිරිපත් කර ජනතාවට පැහිදිලි කරන්න අපි තීරණය කළා. ජනාධිපතිවරයා මීමුරයට ගිහිල්ලා කිව්වේ පී.සී.ආර්. වැඩක් නැහැ කියලා. අද අපිට එන්නත් ලක්‍ෂ 50ක් හම්බ වුණත් මේව දෙන්නම කොච්චර කාලයක් යනවාද? තව අවුරුද්දක් යනකං පී.සී.ආර්. පරීක්‍ෂණවල වැදගත්කම කවුරුත් කියනවා. ජනාධිපතිවරයා ඔලුව ඉදිමුවාගෙන පී.සී.ආර්. පරීක්‍ෂණ වැඩක් නැහැ කියනවා. එවැනි උද්දච්ඡ පුද්ගලයෝ තමයි තීන්දු-තීරණ ගන්නේ.

Related Posts