ජනාධිපතිවරණ ජයග්‍රහණයේ වැඩි බර සජිත්ට- ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ප්‍රසිද්ධියේ විශ්ලේෂණය කර පෙන්වයි

Spread the love

මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සතුව බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පවසයි.

ඊයේ(06) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ වික්ටර් අයිවන් මහතා මෙසේද කීය.

“මගේ කියවීම හරිද වැරදිද කියල මම දන්නේ නෑ. මෙයට පෙරත් ජනාධිපතිවරණවලදී මම මගේ මතය කියල තියෙනවා. මම කියන්නේ වැඩි ඉඩක් තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාටයි. ඒකයි මම දකින ඇත්ත. ඒක වරදින්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් මැතිවරණයකදී ජයග්‍රහණය අපි බලන්නේ යූ.එන්.පී. ගොඩ කීයද ශ්‍රි ලංකා ගොඩ කීයද ජේවීපි ගොඩ කීයද කියලයි.

සජිත්ගේ හොඳ නරක කුමක් වුණත් එයාට තියෙන වාසිදායක තත්ත්වය තමයි එයාගේ තාත්තා මේ රටේ මිනිස්සුන්ට ගෙවල් දුන්නා. අන්ත දුප්පත් මිනිස්සුන්ට ගෙවල් දුන්නා.

ඒ දුප්පත් මිනිස්සු ඒක අමතක කරන්නේ නෑ. ඒ වගේම දැන් සමෘද්ධිය නමින් යන දිළිදු සහන වැඩපිළිවෙළ එයාගේ තාත්තගේ වැඩක්. ඒවගේම ඇඟළුම් කම්හල් වැඩ පිළිවෙල එයාගේ තාත්තගේ වැඩක්. ඒ මිනිස්සුන්ගෙ හදවත්වල ඕක තියෙනවා.

ඒ වගෙන් ලංකාවේ වාර්ගික ආගමික සහ කුල වශයෙන් පීඩිත විශාල පිරිසක් ඉන්නවා. ස්වභාවයෙන්ම ඒ අයගේ ආකර්ශණය යනවා සජිත්ට. ඒක තමයි මට පේන දෙය.

අපට මෙයාගේ තාත්තා උදව් කළ නිසා අපි මෙයාට උදව් කරමු කියල මිනිස්සු හිතන්න පුළුවන්. ඒ නිසා මේ රට සුරපුරක් වෙනව කියල මම කියන්නේ නෑ. නමුත් වෙන අයට තියෙන්නේ තමන්ගේ පක්ෂ පදනම විතරයි.

අනෙක් අයට නැති වාසියක් මෙයාට ලැබිල තියෙනවා මොන හේතුවක් නිසා හරි. එයා පීඩිතයින්ගේ ආකර්ශණයට හේතු වෙලා තියෙනවා. ඒ වාසිය එයාට යයි.” යැයිද වික්ටර් අයිවන් මහතා මෙහිදී කිය.