ජනතාව දවාලට පෝලිමේ – රෑට කළුවරේ – ඇමතිවරු වාහන පෝලිම්වල යන ගමන් ජනතාවට වැදි බණ කියනවා’

Spread the love

මේ වනවිට රට තුළ ඉන්ධන හිගය සහ විදුලිය කැපීම මූලික කරගෙන ජනතාව දැඩි පීඩනයකට පත්කර සිටින අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඔවුන්ගේ සුපුරුදු නාස්තිකාර ජීවිත ගෙවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

අද (24) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව අවධාරණය කළේය. එම මාධ්‍ය හමුවේදී පලකළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ.

“මේ මොහොතේ ජනතාව මුහුණ දී සිටින බරපතළ අර්බුද කිහිපයක් තිබෙනවා. තෙල් සහ විදුලි අර්බුදය ඒ අතරින් මූලිකයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයලාගේ පාලනය යටතේ පසුගිය කාලය පුරාම අපේ රටේ ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් ඉන්නවා. භාණ්ඩ හිඟයක්, ගෑස් හිඟයක් තිබුණා, සිමෙන්ති හිඟය, කිරිපිටි හිඟය නිසා පෝලිම් ඇතිවී තිබෙනවා. සහල් එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවුණා. මේ තත්වයන් නිසා ඉතාමත් දුෂ්කරතා මධ්‍යයේ ජනතාව බොහෝ දේ දරාගනිමින් සිටියා. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ දැන් තෙල් සහ විදුලිය අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. කලින් සිටම දැනෙමින් තිබුණත් ආණ්ඩුව විසඳුම් නොදුන් නිසා දැන් ජනතාව මත කඩා වැටිලා දැඩි පීඩාවකට පත්වී සිටිනවා. විදුලිය සහ තෙල් කියන බලශක්ති දෙකම නැතිවීම අපේ ජීවිතවලට විශාල පීඩාවක් ඇතිකර තිබෙනවා. තෙල් නැති නිසා ජනතාවට පෝලිම්වල ඉන්න වෙලා තිබෙනවා. සමහර පිරවුම්හල් වහලා. සමහර පිරවුම්හල්වල විශාල පෝලිම් තිබෙනවා. ඒ අතර විදුලියත් කපනවා. මේ වෙනකොට කියලත් නොකියාත් දවසකට පැය හතර හමාරක් විතර විදුලිය කපනවා.”

ජනාධිපති වෙනම හීන ලෝකයක

“උසස් පෙළ විභාගයට පාඩම් කරන දරුවන්, රැකියා සඳහා ගොස් නිවසට පැමිණෙන්නන්, ඇතුළු සාමාන්‍ය ජන ජීවිතය මත දැවැන්ත පීඩනයක් ඇති කර තිබෙනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රටට විහිළු සපයමින් ප‍්‍රශ්නය මගහැර ඉන්නවා මිස උත්තර සොයන්නේ නැහැ. මේ නිසා ජනතාව ජීවත් වෙන්න අරගල කරනවා වෙනුවට දවාලට පෝලිමේ ඉන්නවා, රෑට කරුවලේ ඉන්නවා. මේක සාමාන්‍ය තත්වයක් නොවෙයි. ජනතාව මත ඉතාමත්ම පීඩාකාරී තත්වයක් පටවලා තිබෙන අවස්ථාවක්. ආණ්ඩුවේ නායකයෝ මේ සම්බන්ධයෙන් කිසිම වගකීමකින් කටයුතු කරන්නේ නැහැ. හැමදේම කරන්න පුළුවන් කියලා, දුරදකින නායකයෙක් කියලා ජනතාවගෙන් විශාල ජන වරමක් ඉල්ලා සිටියා. විධායක ජනාධිපති ධුරයත්, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයත්, විසිවැනි සංශෝධනය සම්මත කරගෙන ලබාගත් බලයත්, තිබෙද්දී හමුදාවත් විවිධ කටයුතුවලට යොදවා ගන්නවා. මේ ඔකකෝම තිබෙද්දී අද ආණ්ඩුවක් නැති තත්වයට පත්වෙලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තෙල් නැතිවීම, භාණ්ඩ හිඟවීම, ලයිට් කැපීම ප‍්‍රශ්න වෙලා නැහැ. එයා ජීවත්වෙන ලෝකයේ කාබනික වගාවෙන් ඉතාමත්ම සරුසාර අස්වැන්නක් ගන්න හීනයක ඉන්නේ. අවුරුදු දෙකකට ඉස්සර යෙදූ පොහොරවලින් අදටත් දළු නෙළන්න පුළුවන් කියන මතයක එයා ඉන්නේ.

අනුරාධපුර රැලියේදී ජනාධිපතිවරයා කීවේ අවුරුදු දෙකක කොරෝනා නිසා කරන්න බැරිවුණු වැඩ ඉදිරි අවුරුදු තුනේදී කරනවා කියලා. නමුත් එක එක කතා කියමින් ප‍්‍රශ්න මගහැර යාම මිස ඇත්ත උත්තර දෙන්නේ නැහැ. ඉන්ධන අර්බුදය හදිසියේ කඩාපාත් වුණු එකක් නොවෙයි. පසුගිය කාලයක් තිස්සේ ඩොලර් හිඟය, තෙල් මිල වැඩිවීම වගේම විදුලිය අර්බුදය පිළිබඳව පුරෝකථන තිබුණා. නමුත් මාසයකට වත් දුර දකින්න බැරිකම නිසා මේ තත්වය අතිශය බරපතළ වී තිබෙනවා. විදුලි බල ඇති ගාමිණී ලොකුගේ කියන්නේ තෙල් දුන්නොත් ලයිට් දෙන බවයි. ඛනිජ තෙල් ඇමති ගම්මන්පිල කියන්නේ ඩොලර් දුන්නොත් තෙල් දෙන බවයි. ආණ්ඩුවේ ඇමතිවරු ජනතාවට ප‍්‍රශ්න කියනවා වෙනුවට උත්තර සොයන්නේ නැහැ. ගෝඨාභය මහත්තයා පූටින්ට, මහතීර් මොහොමඩ්ට, ලී ක්වාන්යූට සමාන කළේ ගම්මන්පිල මහත්තයලා. එහෙම කියපු අය ඒ අයගේ දුක මහජනතාවට කියනවා. නම්බු පිටින් අයින්වෙලා යන්නේ නැතිව ඇමතිකමේ වරප‍්‍රසාද බුක්ති විඳිමින් ජනතාව මුදලින් නාස්තිකාර ජීවිත ගතකරමින් ඉන්නවා. අපි අවධාරණය කරන්නේ ඇමතිවරු තමන්ගේ වගකීම් බාරගත යුතු බවයි.”

තෙල් මිල ස්ථායිකරණ අරමුදල කෝ?

“ඇමතිවරු වගේම මහජන උපයෝගීතා කොමිසම වගේ ආයතන කරන ප‍්‍රකාශත් පිළිගන්න බැහැ. පෙබරවාරි 12දා ඔවුන් කියනවා සඳුදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ කියලා. ඒ වගේම පෙබරවාරි 16 කියලා තිබුණා, අප්‍රේල් දක්වා විදුලි කප්පාදුවක් අවශ්‍ය නැහැ කියලා. නමුත් දවස් දෙකක් යනකොට පැය හතරහමාරක් කපන්න පටන් ගත්තා. කිසියම් සැලැස්මක් අනුව ජනතාව දැනුවත් කරලා වැඩකරන්නේ නැහැ. වගකීමක් නැති, වගවීමක් නැති ජනතාව ගැන නොහිතන දුරදකින්නේ නැති තකතීරු ආණ්ඩුවක් යටතේ මේ වැනි තත්වයක් ඇති වී තිබෙනවා. නමුත් 2030දී සම්පූර්ණයෙන් පුනර්ජනනීය බලශක්තියට යන බව ජනාධිපති කියනවා. මේ අතර පොතට ණය ගන්න මට්ටමට රටේ ආර්ථිකය වට්ටලා විදේශ විනිමය විශාල හිඟයක් ඇති කර තිබෙනවා. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ණයට ගෙන තෙල් ගේනවා. ඒ ණය ඉවරවුණහම තව ණයක් සොයනවා. කවුරුත් ණය නොදුන්නොත් ලංකාවට තෙල් නැතිවෙනවා. අර්බුදයේ තරම කොතරම් ද කියනවා නම් තෙල් නැවක් ආවිට ඇමතිවරුන් දෙන්නෙක් ගිහිල්ලා නැටුම් නටලා පිළිගන්නා තත්වයකට ඇවිල්ලා. මේ තත්වයට මෙතෙක් රට පාලනය කළ දෙගොල්ල වගකියන්න ඕනෑ.

ගම්මන්පිල මහත්තයා උදේ හවස මාධ්‍යවලට ඇවිල්ලා තෙල් මිල වැඩිවෙන්න පුළුවන් බව කියනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආ ආසන්න කාලයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල හොඳටම අඩුවෙලා තිබුණේ. විපක්ෂයක් හැටියට අපි අවධාරණය කළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට දෙන්න කියලා. ආණ්ඩුව ඒ වෙනුවට කීවේ තෙල් මිල ස්ථායීකරණ අරමුදලක් හදනවා කියලා. ඒ අරමුදල අද කෝ ? අනික් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තෙල් සහනය හැමෝටම දෙන්න පරිප්පු මිල අඩුකරන බව ප‍්‍රකාශ කළා. තෙල් මිල අඩුවෙන වෙලාවට ගබඩා කර ගන්න ක‍්‍රමවේදයක් නැතිකම අපේ රටේ ලොකුම ප‍්‍රශ්නය. ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි පද්ධතියක් තිබෙද්දී මේ තත්වය ඇතිවීම විශේෂත්වයක්. ඒ වගේම සපුගස්කන්දේ තෙල් පිරිපහදුව බොරතෙල් නැතිව වසා දැම්මා. තෙල් පිරිපහදුව තිබුණා නම්, පෙට‍්‍රල්, ඩීසල්, භූමිතෙල්වලට අමතරව ගෑස්, දැවිතෙල් ලබාගන්නත් තිබුණා. නමුත් පිරිපහදුව නවීකරණය කරන්න කිිසිම පියවරක් පසුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුව ගත්තෙත් නැහැ. මේ අතරේ මැති ඇමතිවරුන් විශාල තෙල් නාස්තියක ඉන්නවා. වාහන පිරිවරාගෙන ගමන් කරමින් පෙළපාළි යනවා වගෙයි යන්නේ. තෙල් අර්බුදයක් වෙලාවේ ආණ්ඩුවෙන් අරපිරිමැස්මේ ආදර්ශය දෙන්න ඕනෑ. ඒ වෙනුවට පරිසර ඇමති මහින්ද අමරවීර රජයේ සේවකයන්ට යෝජනා කරන්නේ ඉන්ධන අර්බුදය නිසා පාපැදියෙන් වැඩට එන්න කියලා.”

කෙහෙළියගේ විදුලි බිල ලක්ෂ 120යි

“ආණ්ඩුවේ වැදිබණවලින් මේ ප‍්‍රශ්න විසඳන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා 2010-2014 කාලයේ ඡන්දය කිට්ටු වෙනකොට මන්නාරම් ද්‍රෝණියේ අපේ තෙල් නිධියට අයත් ගෑස් හමුවුණු බව කීවා. ඡන්ද කාලයේ පොරොන්දු දෙනකොට මේ කතා කීවත් පිටින් තෙල් ගෙන්වා ගන්න අතේ සල්ලි නැති තත්වයට රට ඇදලා දැම්මා. හොරකම් කළා ඇරෙන්න, නාස්ති කළා ඇරෙන්න, ඒගොල්ලන්ගේ වරප‍්‍රසාද ලබාගෙන විනෝද වුණා ඇරෙන්න රටේ ජනතාව ගැන සිතුවේ නැහැ. මේ නිසාම අද විදුලි අර්බුදය ඉතාම බරපතළ වී තිබෙනවා. විදුලිය කපනවා කියන්නේ කර්මාන්ත බිඳ වැටෙනවා. නිෂ්පාදන මාර්ග ඇහිරෙනවා. තෙල් සහ විදුලිය දෙකම නිෂ්පාදන මාර්ගවලට සම්බන්ධයි. තෙල් නැතිවීමෙන් ධීවරයාට මුහුදු යන්නත් බැහැ. මහ කන්නයේ ගොයම් කපන යන්ත‍්‍ර යොදා ගන්නත් බැහැ. ප‍්‍රවාහනය අතරමග නතර වෙනවා. තෙල් සහ විදුලිය දෙකම එකට නැති වුණාම අපේ රට අමාරුවෙන් ඉන්න වෙලාවක අතිශය බරපතළ තත්වයක්. විදුලි අර්බුදය ගැන 2016 දී ඇමති අනු කමිටුවක් පත්කර ගැටලු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන්න කීවා. රංජිත් සියඹලාපිටිය, සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, සාගල රත්නායක, ඉරාන් වික‍්‍රමරත්න, අජිත් පී පෙරේරා යන ඇමතිවරු මේ කමිටුවේ සිටියා. ඔවුන් ගැටලු හඳුනාගෙන නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළා. උසස් තාක්ෂණයෙන් යුක්ත පද්ධති පාලනයක් නොතිබීම නිසා, ඇතිවී තිබෙන බරපතළ ගැටලු පෙන්වාදී තිබුණා. දැන් 2022 වෙලාත් ඒ නිර්දේශ ක්‍රියාත්මක කළේ නැහැ.

නොරොච්චෝලයේ විදුලි බලාගාරයේ පවතින ආවේනික දෝෂ නිරාකරණය කරන්නත් යෝජනා තිබුණා. විකල්ප බලශක්තිය පිළිබඳ ස්ථිර සැලැස්මක් හදා තිබුණේ නැහැ. මේ නිසා තෙල් මත අපේ රටේ විදුලි නිෂ්පාදනය තීරණය වන තත්වයක් නිර්මාණය කර තිබෙනවා. මේ නිසා අද තෙල් සහ විදුලිය දෙකම නැති තත්වයට පත්වෙලා. තෙල් අර්බුදයක් නිර්මාණය වෙමින් එන අවස්ථාවේ ජලාශවල තිබුණු වතුරවලින් ජල විදුලි බලය නිෂ්පාදනය කරන්න මුදා හැරියා. ඒ නිසා කෙටි කාලයකින් ජලාශවල ධාරිතාවය පහත් මට්ටමට වැටුණා. කුඩා ජල විදුලි බලාගාරවල නිෂ්පාදනයත් පහත වැටී දැන් 70%ක් පමණ ඉන්ධනවලින් විදුලිය නිෂ්පාදනය කරනවා. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ආණ්ඩුව වගේම කිසිම විශ්වාසයක් තබන්න බැරි තත්වයට පත්වෙලා. මේ ප‍්‍රශ්නය දැන දැනත් විසඳුම් සොයන්න කලින් ආණ්ඩුවත් වර්තමාන ආණ්ඩුවත් ක්‍රියා කළේ නැහැ. ඒ අතර විදුලි බල මණ්ඩලය බිලියන 82ක් තෙල් සංස්ථාවට ණයයි. ඒ අතර විදුලි බල මණ්ඩලයට අයකර ගන්න බැරිවුණු විශාල මුදලක් තිබෙනවා. ආණ්ඩුවේ ඇමතිවරුන් සහ ඔවුන්ට සම්බන්ධ විශාල ව්‍යාපාරිකයන් විදුලි බිල් ගෙවා නැහැ. උදාහරණයක් හැටියට කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාට විදුලි බල මණ්ඩලයෙන් ලිපියක් යවමින් විදුලි බිල ගැන සඳහන් කර තිබෙනවා. ඒ ලිපිය අනුව ඇමතිවරයා පදිංචිව සිටින කාලය තුළ එනම් 2015 පෙබරවාරි මස සිට 2021 දෙසැම්බර් 31 දින දක්වා රුපියල් එක්කෝටි විසිලක්ෂ පනස් හයදහස් අටසිය තුනයි ශත තිස් අටක් අයකර ගැනීමට ඇති බව දන්වා තිබෙනවා. මෙතන පාවිච්චියේ විශාලකම සහ බිල් නොගෙවා සිටීම කියන ප‍්‍රශ්න දෙකම තිබෙනවා. මේ මුදල ඇමතිවරයාගේ පරිභෝජනයට අදාළ හිඟ මුදල පමණක් කියලත් අවධාරණය කර තිබෙනවා. මේ වගේ තත්වයක් නිසයි විදුලි බල මණ්ඩලයට ගෙවන්න සිදුවී තිබෙන ණය ගෙවා ගන්න බැරි වී තිබෙන්නේ.

මොනම හේතුවක් නිසාවත් රටක බලශක්ති ක්ෂේත‍්‍රය විදේශ රටවල් අතට යන එක වැරදියි. රටේ ස්වාධීනත්වයත් ජාතික ආරක්ෂාවත් දෙකම නැති වෙනවා. නමුත් බලශක්ති ක්ෂේත‍්‍රයේ එක් එක් අංශ විකුණමින් සිටිනවා. පම්පෝරි කයිවාරු ගහමින් එදාවේල ගත කර ගන්න කරන ක්‍රියාමාර්ග නිසා රට වැටිලා තිබෙන්නේ. සංචාරක ව්‍යාපාරය යම්තම් පණගහගෙන එනකොට තෙල් සහ විදුලිය සම්බන්ධ ප‍්‍රශ්නය නිසා නැවතත් ඇදගෙන වැටෙනවා. ඒ නිසා ජනතාව බඩගින්නේ තබා රට කළුවරේ තබා, වාහන මඟ නවත්වන ආණ්ඩුවක් බවට පත්වී තිබෙනවා. ඒ නිසා ඔබේ අයිතීන් ඉල්ලා ගන්න සැලැස්මක් දැක්මක් නැති මේ දෙපිරිසම ඉවත් කර, රට හදන්න සමත් පාලනයක් පිහිටුවා ගන්න තීන්දුව ගමු කියන ඉල්ලීම කරනවා. ඒ අතරේ අපි ආණ්ඩුවට බල කරන්නේ පම්පෝරි කතා නවත්වා තෙල් මිල වැඩිනොකර විදුලිය සහ තෙල් අඛන්ඩව ලබාදී ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලන්න කියලා.”

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්….

“වසංගතය එන්න කලිනුත් අපිට ඩොලර් ලොකු සංචිතයක් තිබුණේ නැහැ. වසංගතයෙන් විදේශ විනිමය ආදායම් ප‍්‍රශ්නයක් ඇති වුණේ සංචාරක ව්‍යාපාරයට විතරයි. මහ බැංකු වාර්තා අනුව අනිත් ක්ෂේත්‍රවල අපනයන ආදායම් වැඩිවී තිබෙනවා. නමුත් ප‍්‍රශ්නය වෙලා තිබෙන්නේ පසුගිය කාලයේම පැවති ආණ්ඩු ඉහළ පොලියට විදේශ ණය ලබාගැනීමයි. නිෂ්පාදන මාර්ග වෙනුවට ඉදිකිරීම්වලට යොදවලා ඒ ණය හොරකම් කළා. වත්කම් උපයන මාර්ගවල ණය යොදවපු නැති නිසා, ණය ආපසු ගෙවීමේදී බරපතළ තත්වයක් මතුවී තිබෙනවා. අද සිදුවී තිබෙන්නේ ණය ගෙව්වොත් රටට අවශ්‍ය ආනයන කරන්න බැහැ. ආනයන කළොත් ණය ගෙවන්න බැහැ. අනික් පැත්තෙන් ගිය අවුරුද්දේ අවසන් මාස හතේදී ඊට පෙර අවුරුද්දේ අවසන් මාස 07ට සාපේක්ෂව විදේශ රැකියා කරන්නන් එවන මුදල් ඩොලර් මිලියන 2,055ක් අඩුවී තිබෙනවා. මේ මුදල ආවා නම් ඩොලර් මිලියන 500ක තෙල් ණයක් ඉන්දියාවෙන් ගන්න ඕනෑ නැහැ. තවත් රටවල්වලින් මේ විදිහට කුඩා කුඩා ණය ගන්න ඕනෑ නැහැ. විදෙස්ගත ශ‍්‍රමිකයන් ලංකාවට සල්ලි එවන්නේ නැහැ. ඒකට හේතුව ඔවුන්ගේ ඩොලර් එකට රුපියල් 210/-ක් ගෙවන අතර, විවෘත වෙළඳපොළේ 240/-ක් ගෙවන නිසයි. අනෙක් පැත්තෙන් ඔවුන් එවන සල්ලි ආණ්ඩුවෙන් නාස්ති කරන බව කල්පනා කරනවා.

ණය නොගෙවා සිටියොත් කිසිම රටක් අපට ණය නොදී ඉන්න තත්වයට පත්වෙනවා. නායකයන්ගේ කයිවාරුවලින් මේ ප‍්‍රශ්නය විසඳන්න බැහැ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වන කන්ටේනර් 2000ක් විතර වරායේ හිරවෙලා තිබෙන බවට වාර්තා පළවී තිබෙනවා. අනවශ්‍ය වියදම් නතර කර ගත්තේ නැත්නම් මුළු රටම ගිලිලා විනාශ වී යන තත්වයක් තිබෙන්නේ. ලංකාවට ආයෝජන ගෙන එනවා වෙනුවට පසුගිය අවුරුදු 15 තුළ විදේශ ණය අරගෙන තිබෙන්නේ. ණය සහ ආයෝජන කියන්නේ දෙකක්. ආයෝජන ගෙන්වා ගත්තොත් ආපසු ගෙවන්න ඕන නැහැ. ණය ගත්තොත් පොලියත් එක්ක ගෙවන්න ඕනෑ. නමුත් අපේ රටට ආයෝජකයෝ එන්නේ නැහැ. ඔවුන් නොඑන්නේ ඇමතිවරුන්ගේ සිට ජනාධිපතිවරයා දක්වා 25%ක් – 30%ක් පගාව ඉල්ලන නිසයි. මේ හොරා කන රටට ආදරයක් නැති පාලනයන්ට සහ පාලකයන්ට මේ ප‍්‍රශ්න විසඳන්න බැහැ. මෙතරම් ප‍්‍රශ්න තිබෙද්දී තේ කර්මාන්තය බරපතළ විදිහට වැටිලා. ඒකට හේතුව කාබනික පොහොර නිසා තේ වගාව කඩා වැටීමයි.

ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වූ විට ලාභය ආණ්ඩුවට ගන්නවා. වැඩි වූ විට ජනතාව මත පටවනවා. රුසියාව යුක්‍රේනය එක්ක ගැටුම් ඇතිකර ගත් නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩිවෙන බව කියනවා. රටකට ආණ්ඩුවක් ඕනෑ මේ වගේ ප‍්‍රශ්න විසඳන්නයි. යුක්‍රේන් අර්බුදය පාවිච්චි කරලා තෙල් මිල වැඩිකරන්න ආණ්ඩුව උත්සාහ කරයි. නමුත් තෙල් හිඟයට මේක පාවිච්චි කරන්න බැහැ. ලෝක වෙළඳපොළේ තෙල් හිඟයක් නැහැ. විදුලිය ප‍්‍රශ්නයට මේක පාවිච්චි කරන්න බැහැ. අපේ රටේ සහල් හිඟයක් එන එකට මේක පාවිච්චි කරන්න බැහැ. අපේ රටේ තේ කර්මාන්තය වැටීමට මේක පාවිච්චි කරන්න බැහැ. රටේ තිබෙන ප‍්‍රශ්න සියල්ලටම යුක්‍රේන අර්බුදය පාවිච්චි කරන්න බැහැ. මේ අවස්ථාවෙහි යුක්‍රේන අර්බුදය පාවිච්චි කරලා තෙල් මිල වැඩිකරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ජනතාවට කියන්නේ ආණ්ඩුව වෙන රටක තිබෙන අර්බුදය පෙන්නලා තමන්ගේ බැරිකම වහගන්න ගන්නා උත්සාහයන් පිළිගන්න එපා කියලයි.”

Related Posts