ජනතාවට සහන නැති අයවැයක් – ජවිපෙ

Spread the love

නිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිත සාර්ව ආර්ථික දැක්මක් නැති ජනතාවට සහන නැති සිහින ඇති අයවැයක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන බැවින් ජනතා විමුක්ති පෙරමුණ එයට එරෙහිව ඡන්දය දී පාර්ලිමේන්තුවෙන් පිටත රට පුරා ජනතාව සමග එක්වී උද්ඝෝෂණ පවත්වන බව එම පක්‍ෂය පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කළේය. ඊයේ (23) උදේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත්, පා.ම. සුනිල් හදුන්නෙත්ති සහ හිටපු පා.ම. සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරු සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා ප‍්‍රධාන කරුණු කිහිපයක් අවධාරණය කළේය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප 10%කින් වැඩි කරන බව ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය බොරුවක් යැයිද ඔහුන්ගේ මූලික වැටුපෙන් 10%කට සමාන දීමනාවක් පමණක් යෝජනා කර ඇති බව පෙන්වා දුන්නේය. එසේම වෙනත් අය-වැය ලේඛනවලදී පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකරන ලෙස හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් කරන  බවද මෙහිදී එවැනි ඉල්ලීමක් පවා නොකළේ ප්‍රෝඩාකාරී විශ‍්‍රාම වැටුප් පනතට විරෝධය පළකළ ලක්‍ෂ 70ක් පමණ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් පලිගැනීමට බව හෙලි කළේය.

පසුගිය අයවැය යෝජනාවල ඇතුලත් වූ ඉටු නොකළ පොරොන්දු එකිනෙක විග‍්‍රහ කළ මන්තී‍්‍රවරයා, ති‍්‍රවිධ හමුදා සොල්දාදුවන්ගේ පවුල්වල තුන්වන දරු උපත වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් දෙන බව පවසා රුපියල් ලක්‍ෂ 12,000ක් වෙන්කළ බවත් ඒ අනුව හමුදා පවුල්වල සාමාජිකයින් 12,000 කට ආසන්න ප‍්‍රමාණයකට මේ වනවිට රුපියල් ලක්‍ෂය ලැබී තිබිය යුතු වුවත් එසේ ලැබුණ කෙනෙක් සොයාගත නොහැකි බව හෙළි කළේය. එම විහිළුකාරී යෝජනාව මෙවර විගඩමක් බවට පත්කරමින් පොලීස් සේවයේ යෙදී සිටින අයගේ තුන්වන දරු උපතක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් දෙන බවට පොරොන්දු දුන් බව පෙන්වාදුන්නේය.

රැකියා විරහිත උපාධිධාරීන් 40,000 කට වැඩි පිරිසක් මේ වනවිට සිටින අතර පසුගිය අයවැයෙන් ඔවුන් 15000 කට රැකියා ලබාදෙන බව පොරොන්දු වුවද මෙම අයවැය ලේඛනයෙන් එම පොරොන්දු දීම පවා අත්හැර ඇතැයි හෙළි කළේය. සෑම ග‍්‍රාම සේවා වසමකටම ජනසභා ලේකම්වරයෙකු බැගින් පත්කර උපාධිධාරීන් 15000 කට රැකියා දෙන බව කීව ද මේ වනවිට ජනසභා ලේකම් පොරොන්දුව අමතක කර ඇති බව පැහැදිලි කළේය.

මැතිවරණ ළංවී මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් නිධි කැණීම් කටයුතු කරමින් ජනතාවට සිහින දුන් බව ද නමුත් මෑත අවස්ථා හතරක දී ගෑස් මිල වැඩි කළා මිස සමස්ත ජනතාවගේ ජීවන වියදම් ප‍්‍රශ්නය විසදීමට ඵලදායි කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැති බව ද ‘‘තෙල් මිල වැඩි කළ ඒකෙන් ජීවන බරට තවත් බර පැටවුණා, රජයේ සේවකයන්ට අවම වශයෙන් රු.10000ක් වැටුප් වැඩි කළ යුතුයි. පෞද්ගලික අංශයේ සේවකයින්ට ද 40%කින් වැටුප් වැඩි කළ යුතු බව අපි අවධාරණය කරනවා.’’ යනුවෙන්ද පැවසීය.

RSL

Related Posts