චීන CoronaVac එන්නත ලබාදීමෙන් පසු ‘වැඩිහිටි මරණ සංඛ්‍යාව‘ 95%කින් අඩුවෙලා !

Spread the love

අත්හදා බැලීමේ කොටසක් ලෙස වැඩිහිටියන් සියල්ලටම පාහේ කොවිඩ්-19 එන්නත් ලබා දීමෙන් පසු බ්‍රසීලියානු නගරයක කොවිඩ් -19 මරණ 95% කින් අඩුවී ඇතැයි පර්යේෂකයෝ පවසති.

45,000 ක ජනගහනයක් සිටින ගිනිකොනදිග සාඕ පවුලෝ ප්‍රාන්තයේ සෙරානා (Serrana) නගරයේ වැඩිහිටියන් සියලු දෙනාටම චීනයේ නිෂ්පාදිත කොරෝනාවැක් CoronaVac එන්නත ලබාදී ඇති අතර එම එන්නත් ලබාදීමෙන් පසුව රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් පහත වැටී ඇති බවයි පර්යේෂකයින් පවසන්නේ.

වෛරසය සංසරණය අඩු වීමෙන් එන්නත ලබා නොගත් අයද ආරක්ෂා වී ඇති බව කණ්ඩායම පවසයි.

සොයාගැනීම්වලින් පෙනී යන්නේ මිනිසුන්ගෙන් 75% ක් මුළුමනින්ම එන්නත් කිරීමෙන් පසුව වසංගතය පාලනය කළ හැකි බවයි.

කොරෝනා වසංගතයෙන් බ්‍රසීලයට දැඩි ලෙස පහර වැදී ඇති අතර 463,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

ප්‍රමාණවත් තරම් එන්නත් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බ්‍රසීලය මන්දගාමී එන්නත් කිරීමේ ව්‍යාපාරයක් සමඟ පොරබදමින් සිටින අතර ආසාදන මැඩපැවැත්වීම සඳහා සම්බන්ධීකරණ පියවරයන් නොමැතිකම මධ්‍යයේ දෛනික මරණ හා රෝගීන්ගේ සාමාන්‍යය ඉහළ මට්ටමක පවතිනවා.

මෙම අත්හදා බැලීම පසුගිය පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ කොරෝනාවැක් එන්නත නිපදවන China’s Sinovac Biotech සමාගම විසින් සංවිධානය කර තිබෙන්නේ.

වෛරසය අඩංගු වීමේ සීමාව තීරණය කිරීම සඳහා නගරය ප්‍රදේශ හතරකට බෙදා තිබෙනවා. පර්යේෂණ කණ්ඩායම පැවසුවේ නගරයේ සියලුම වැඩිහිටියන් එන්නත් කළ විට ඔවුන් අතර මරණ සංඛ්‍යාව 95%කින් පහත වැටුණ බවයි.

  • මරණ 95% කින් පහත වැටුණි
  • රෝහල් ගතවීම් 86% කින් පහත වැටුණි
  • රෝග ලක්ෂණ 80% කින් පහත වැටුණි

“අපි මෙහිදී හදුනා ගත් වැදගත්ම ප්‍රතිඵලය වන්නේ මුළු ජනතාවටම එන්නත ලබා නොගෙන වසංගතය පාලනය කළ හැකි වීමයි.”

එන්නත් ලබා නොගත් ළමුන් හා නව යෞවනයින් අතර රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවී ඇති බවත් පාසල් නැවත විවෘත කිරීම සඳහා ළමයින්ට එන්නත් ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැති බව මෙයින් ඇඟවිය හැකි බව ඔවුන් පැවසුවා.

සෙරානා හි COVID-19 ට එරෙහිව කොරොනාවැක් එන්නත ලබා ගැනීමට නිවැසියන් පෙළ ගැසී සිටිති
වැඩිහිටි ජනගහනයෙන් 75% ක් එන්නත් කිරීමෙන් පසුව වෛරසය පැතිරීම පාලනය කළ බව පර්යේෂකයෝ පවසති

පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී පලසියෝස් මහතා පවසන පරිදි මෙම එන්නත මුලින් පී 1 ලෙස හැඳින්වූ ප්‍රභේදයට එරෙහිවද ඵලදායී වී ඇත. (දැන් එය ගැමා ලෙසද හැඳින්වේ)

අත්හදා බැලීමේ ප්‍රතිඵල සංවර්ධනය වෙමින් පවතින රටවල් දුසිම් ගණනක් භාවිතා කරන කොරෝනාවැක් එන්නත්කරණයට උත්තේජනයක් විය හැකිය. බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ තුර්කිය යන රටවල සායනික අත්හදා බැලීම්වලින් 50% සිට 90% දක්වා පරාසයක ප්‍රතිඵල පෙන්වා ඇත.

කොරෝනාවැක් යනු අක්‍රිය කළ එන්නතකි – inactivated vaccine, බරපතල රෝග ප්‍රතිචාරයක් නොමැතිව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට නිරාවරණය කිරීම සඳහා අක්‍රිය කරන ලද (killed viral) වෛරස් අංශු භාවිතා කරයි.

සෙරානා හි අත්හදා බැලීම ලොව මෙවැනි ආකාරයේ පළමු අවස්ථාව බව පර්යේෂකයෝ පැවසූහ. දෙවන එන්නත්කරණයෙන් දින 14 කට පසුව එන්නත ලබාගත් අය අතර එන්නතෙන් දරුණු අතුරු ආබාධ ඇති බවට වාර්තා නොවූ අතර කෝවිඩ් ආශ්‍රිත මරණ කිසිවක් වාර්තා වී නොමැත.

148,000 ක ජනගහනයක් සිටින තවත් බ්‍රසීල නගරයක් වන Botucatu ද මෙවැනිම අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතී. පර්යේෂකයෝ ෆියෝක්‍රස් ආයතනය විසින් දේශීයව නිපදවන ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතා කරති.

එක්සත් ජනපදයෙන් පසු ලොව දෙවන ඉහළම කෝවිඩ් මරණ සංඛ්‍යාව බ්‍රසීලයට හිමිවන අතර තුන්වන වැඩිම රෝගීන් සංඛ්‍යාව මිලියන 16.5 ඉක්මවයි. වසංගතය පාලනය කිරීම සහ එන්නත්කරණ වැඩසටහන මන්දගාමී වීම පිළිබඳව බ්‍රසීල සෙනෙට් සභාව ජනාධිපතිවරයාට චෝදනා කර ඇත.

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Related Posts