චීනයේ ඊනියා සමාජවාදයේ සළුපිළි ගළවන ‘සුපිරි ධනපතීන්ගේ පුරාජේරු කතා

Spread the love

එක් පුද්ගලයෙකුගේ ආහාර සඳහා දිනකට යුවාන් 650ක් (ඩොලර් 101ක්) ප්‍රමාණවත් වේද?

තමන්ට නම් එම මුදල ප්‍රමාණවත් නොවන බව සූ මාං පැවසුවාය. ඇය මේ බව පැවසුවේ චීනයේ රුපවාහිනී රියැලිටි වැඩසටහනක දීය. සූ මාං චීනයේ Harper’s Bazaar China සඟරාවේ හිටපු ප්‍රධාන කතුවරියයි. ඇය කළ ප්‍රකාශයට චීන සමාජ මාධ්‍ය ඔස්සේ කෝපය පළවී තිබුණි.

“අපිට හොඳට කන්න ඕන. මට නම් බැහැ ඒ තරම් පහළ මට්ටමේ ආහාර ගන්න.” සූ මාං තවදුරටත් ප්‍රකාශ කළාය. එම රියැලිටි වැඩසටහනට රටේ ප්‍රසිද්ධ චරිත 15ක් සහභාගී වී සිටිති. ඔවුන් සියලු දෙනා දින 21ක් එකට වාසය කළ යුතුය.

අන්තර්ජාලයේ සැරිසරන්නෝ ඇයගේ ප්‍රකාශයෙන් කෝපාවිෂ්ඨ වූහ. ඔවුන් පෙන්වා දුන්නේ යුවාන් 30කටත් වඩා අඩු මුදලකින් රටේ ජනතාව බඩවියත රැක ගන්නා බවය.

තමන්ගේ ප්‍රකාශය ජනතාව වැරදියට තේරුම්ගෙන ඇති බව සූ මාං පසුව පැවසුවාය. ඇය කියා සිටියේ, තමන් සහභාගී වී සිටින රියැලිටි වැඩසටහන පැවැත්වෙන සම්පුර්ණ කාලය සඳහා ලැබෙන ආහාර වෙනුවෙන් යුවාන් 650ක මුදලක් ප්‍රමාණවත් නොවන බව ඉන් අදහස් කළ බවය. නමුත් ජනතාව එය පිළිගන්නා බවක් නොපෙනේ.

“දැන් ඇයට උත්සාහ කරන්න පුළුවන් ඒක පැහැදිලි කරන්න. නමුත් ඇත්තම තත්ත්වය නම්, ඔය ප්‍රසිද්ධ චරිත ඉහළ පැලැන්තියේ මාන්නය පෙන්නනවා.” බ්ලොග් ලියන්නෙකු එසේ ලියා තිබුණි.

චීනයේ සුපිරි ධනවතුන්ගේ ජීවන පැවැත්ම කෙරෙහි මහජන කෝපය මතුවූ එකම අවස්ථාව මෙය නොවේ.

සූ මාං චීනයේ Harper's Bazaar China සඟරාවේ හිටපු ප්‍රධාන කතුවරියයි
සූ මාං චීනයේ Harper’s Bazaar China සඟරාවේ හිටපු ප්‍රධාන කතුවරියයි

හුවාවෙයි සමාගමේ නිර්මාතෘ රෙන් සෙන්ග්ෆෙයි ගේ දියණිය ඇනබෙල් යාඕ මේ වසර මුලදී කළ ප්‍රකාශයකින් ද සමාජ මාධ්‍ය උණුසුම් විය. ඇය පවසා තිබුණේ තමන් දුෂ්කර ජීවිතයක් ගත කළ බවය.

“මම කවදාවත් ඊනියා ‘කුමාරිකාවක්’ විදියට ජීවත් වෙලා නැහැ. මගේ වයසේ ඉන්න අනිත් අය වගේම තමයි මමත්. මට මහන්සිවෙලා වැඩ කරන්න සිද්ධ වුණා. හොඳ පාසලකට ඇතුළු වෙන්න මහන්සිවෙලා ඉගෙන ගන්න වුණා.” 23 හැවිරිදි ඇනබෙල් එසේ පැවසුවේ තමන් ගීත ගායනයට ප්‍රවිෂ්ඨ වන බව නිවේදනය කරමින් නිකුත් කළ විනාඩි 17ක වීඩියෝවකිනි.

Weibo සමාජ මාධ්‍යය ඔස්සේ ජනගත කෙරුණු මෙම වීඩියෝවට ඇය තවදුරටත් කියා සිටියේ සංගීත සමාගමක් වෙනුවෙන් ගීත ගායනා කිරීමේ අවස්ථාව, ඇයට ලැබුණු උපන්දින තෑග්ගක් බවය.

ඇනබෙල් ගේ පියාගේ වත්කම ඩොලර් බිලියන 1.4ක් බවට තක්සේරු කර තිබේ.

චීනයේ සුපිරි ධනවතුන්ගේ ජීවිත ඉතා අලංකෘත වූවක් බව පෙන්නුම් කෙරෙමින් පවතී. ඔවුන්ගේ සුඛෝපභෝගී වාහන, මිල අධික වස්ත්‍රාභරණ අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කෙරෙන්නේ ජනතාව මවිත කරවමිනි.

නමුත් මෙවැනි පාරට්ටු අවඥාවට ලක්වීම සහ ජනතා කෝපයට පාත්‍රවීම එන්න එන්නම වැඩි වෙමින් පවතී.

බොහෝ දෙනා සිතන්නේ සූ මාං වැනි තරු චරිත හෝ සුපිරි ධනවතුන්ගේ දෙවැනි පරම්පරාව වන ඇනබෙල් වැනි ළමුන්, එවන් මහා ධන සම්භාරයක් ලැබීමට තරම් යෝග්‍ය නොවන බවය.

“මේ වගේ තරු පන්තියේ ජීවිත සහ ඔවුන්ගේ ‘සැප රැකියා’ එක්ක සංසන්දනය කරලා බලනකොට සාමාන්‍ය ජනතාව මැසිවිලි නගනවා තමන් කෙතරම් මහන්සි වුනත් කොයිතරම් සොච්චමක්ද හම්බවෙන්නේ කියල.” චීන මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ පර්යේෂක, ඩීකින් විශ්වවිද්‍යාලයේ අචාර්ය ජියාන් ක්ෂු පැවසීය.

මෙල්බර්න් නුවර RMIT විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අංශයේ මහාචාර්ය හයිජින්ග් යූ කියා සිටියේ තමන්ගේ ආහාර වේල ගැන සූ මාං කළ ප්‍රකාශයෙන් ජනතාව කුපිත වන බවය. “චීනය සඟවන්නට උත්සාහ කරන තුවාලය එවැනි ප්‍රකාශ මගින් පෑරෙන” බව ඔහුගේ අදහසයි.

“ඇතැමුන්ට උවමනාවටත් වඩා තියෙනවා; අනිත් අයට ලැබෙන්නේ සොච්චමයි.”

චීනයේ ජනප්‍රිය නිළියක වන Zheng Shuang ට රුපවාහිනී වැඩසටහනක් වෙනුවෙන් දිනකට යුවාන් මිලියන 2 බැගින් ගෙවා ඇති
චීනයේ ජනප්‍රිය නිළියක වන Zheng Shuang ට රුපවාහිනී වැඩසටහනක් වෙනුවෙන් දිනකට යුවාන් මිලියන 2 බැගින් ගෙවා ඇත

චීනයේ ඇති-නැති පරතරය විශාල වෙමින් පවතී.

ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ වාර්තාවලට අනුව, චීනයේ එක් පුද්ගලයෙකුගේ වාර්ෂික දල ආදායම යුවාන් 32,189 (ඩොලර් 5,030)කි. එනම් මාසයකට යුවාන් 2,682කි. නමුත් ලෝකයේ වැඩිම බිලියනපතියන් ප්‍රමාණයක් සිටින්නේ එරට අගනුවර වන බීජිං නුවරය.

ලොව අන් සියලු නගර අභිබවා ලොව වැඩිම බිලියනපතියන් ප්‍රමාණයක් බෙයිජිං නුවර වාසය කරන බව හෙළිදරව් වන්නේ Forbes සඟරාවේ පළවූ, ලොව ධනපතියන්ගේ නවතම වාර්ෂික නාම ලේඛනයෙනි.

Forbes ව්‍යාපාරික සඟරාව පවසන පරිදි පසුගිය වසර තුළ දී පමණක් බිලියනපතියන් 33 දෙනෙකු බෙයිජිං නුවරින් බිහිවී ඇත. ඒ අනුව, මේ වනවිට බෙයිජිං නුවර සිටින මුළු බිලියනපතියන්ගේ ගණන 100ක් බව එම සඟරාව පවසයි.

පසුගිය වසර 9ක් පුරා මෙම ලැයිස්තුවේ ඉහළින්ම වැජඹුණු ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය මෙවර දෙවැනි ස්ථානයට පත් විය.

ලෝක ධනපතියන් පිළිබඳව විමර්ශනය කෙරෙන Hurun වාර්තාවට අනුව, චීනයේ බිලියනපතියන් 2020 වසරේදී පමණක් ඩොලර් ට්‍රිලියන 1.5ක ආදායමක් ලබා තිබේ. එය එක්සත් රාජධානියේ සමස්ත දල ජාතික ආදායමෙන් භාගයකට ආසන්නය.

බෙයිජිං නුවර සිටින ඉහළම ධනපතියා ශෑo යීමිං ය. ඔහු TikTok නිර්මාතෘවරයා ය. එමෙන්ම, එහි මව් සමාගම වන ByteDance සමාගමේ ප්‍රධාන විධායකයා ය. ඔහුගේ ශුද්ධ වටිනාකම දෙගුණ විය. මේ වන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 35.6ක් දක්වා වර්ධනය වී තිබේ.

කොවිඩ් 19 වසංගතයෙන් චීනයට ඉක්මණින් මිදෙන්නට හැකිවීම, තාක්ෂණික ආයතනවල නැගී සිටීම සහ කොටස් වෙළෙඳපොළ ශක්තිමත් වීම හේතුවෙන් චීනයට මෙවැනි ඉහළ මට්ටමකට පැමිණීමට හැකිවී තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ චීන ජාතිකයන් ගේ අදහස වුයේ රටේ සියලු දෙනාටම “පොදු සෞභාග්‍යයක්” උදා කර ගැනීමට හැකිවනු ඇතැයි යන්නය. චීනයේ හිටපු නායක ඩෙන්ග් ශියාඕපිං ද පවසා තිබුණේ එයමය. නමුත් මේ වන විට පෙනී යන්නේ ඇතැම් කලාපයන් සහ ඇතැම් පුද්ගලයන් පමණක් ඒ සෞභාග්‍යයට උරුමකම් කියා ඇති බවකි.

මිල අධික සුඛෝපභෝගී භාණ්ඩ සඳහා රටේ පවතින ඉල්ලුම නම් අඩුවන බවක් පෙනෙන්නට නැත
මිල අධික සුඛෝපභෝගී භාණ්ඩ සඳහා රටේ පවතින ඉල්ලුම නම් අඩුවන බවක් පෙනෙන්නට නැත

“රට විවෘත කරල වසර 40කට වැඩි කාලයක් ගෙවී ගිය පසුව සිද්ධවෙලා තියෙන්නේ ධනපතියන්ගේ වත්කම් තව තවත් වැඩි වෙලා ඉතිරි පිරිස තවත් ඈතට විසි වෙලා.” ඩීකින් විශ්වවිද්‍යාලයේ අචාර්ය ජියාන් ක්ෂු පැවසීය.

මේ පිළිබඳව මතුවෙමින් පවතින ජනතා කෝපය වරින්වර උණුසුම් වෙයි.

පසුගිය මාසයේ සිදු කෙරුණු හෙළිදරව්වක් මීට තවත් උදාහරණයකි. චීනයේ ජනප්‍රිය නිළියක වන Zheng Shuang ට රුපවාහිනී වැඩසටහනක් වෙනුවෙන් දිනකට යුවාන් මිලියන 2 බැගින් ගෙවා ඇති බව හෙළිවීමත් සමඟ ජනතා කෝපයක් මතු විය. සම්පූර්ණ වැඩසටහන වෙනුවෙන් එම නිලියට ගෙවා ඇති මුළු මුදල යුවාන් මිලියන 160කි.

“යුවාන් මිලියන 160ක් යනු කොපමණ මුදලක්ද? මසකට යුවාන් 6,000ක් උපයන සාමාන්‍ය මිනිසෙකුට මෙම මුදල ඉපයීම සඳහා නොකඩවා අවුරුදු 2,222ක් වැඩ කළ යුතුයි.” එක්තරා පුද්ගලයෙකු Weibo සමාජ මාධ්‍යයේ ලියා තිබුණි.

මිල අධික සුඛෝපභෝගී භාණ්ඩ සඳහා රටේ පවතින ඉල්ලුම නම් අඩුවන බවක් පෙනෙන්නට නැත.

Euromonitor International නමැති ආයතනය විසින් කරන ලද වෙළෙඳපොළ සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ මිල අධික වෙළෙඳ නාමයන් යටතේ පවතින භාණ්ඩ පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගැනීම අතින් ජපානය අභිබවා චීනය ඉදිරියට පැමිණ ඇති බවය. ඒ අනුව අසියා ශාන්තිකර කලාපයේ වැඩිම ප්‍රමාණයක්, මිල අධික සුඛෝපභෝගී භාණ්ඩ පෞද්ගලික පරිහරණය සඳහා විකිනෙන රට චීනයයි. කොවිඩ් වසංගතයට පෙර තිබූ වෙළෙඳපොළ මට්ටමට මෙම වසර අවසානයට පෙර නැවතත් චීනය ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොවිඩ්-19 වසංගතය මැඩලමින් මතු වූ පළමු විශාල රට බවට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳාමේ වර්ධනයක් සහිත එකම ප්‍රධාන ආර්ථිකය සහිත රට චීනයයි.

වෙළෙඳ ගනුදෙනු විධිමත් මට්ටමින් වාර්තාගත කිරීම ආරම්භවීමෙන් පසු චීනය පළමු වතාවට ජර්මනිය අභිබවා යමින් එක්සත් රාජාධානියේ විශාලතම තනි ආනයන වෙළෙඳපොළ බවට පත්ව ඇත.

BBC

එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාන කාර්යාලය (ONS)) පවසන ආකාරයට 2018 වර්ෂය ආරම්භයේ පටන් චීනයෙන් සිදුවූ භාණ්ඩ ආනයනය 2021 වර්ෂයේ පළමු කාර්තුව තුළ පමණක් 66%කින් ඉහළ යමින් ස්ටර්ලිං පවුම් බිලියන 16.9ක ($24bn) වෙළෙඳාමක් බවට පත්ව තිබුණි.

එම කාල සීමාව ඇතුළත ජර්මනියෙන් සිදුකෙරෙන භාණ්ඩ ආනයනය හතරෙන් එකකින් හැකිළෙමින් එහි වෙළෙඳ වටිනාකම ස්ටර්ලින් පවුම් බිලියන 12.5ක ගනුදෙනුවක් බවට පත්විය.

කොවිඩ් වසංගතයෙන් පසුව චීනයේ මෙන්ම එක්සත් ජනපදයේ ද විද්‍යුත් තාක්ෂණික ව්‍යාපාර තව තවත් විශාල වන්නට විය.

වසංගතය පැමිණීමත් සමඟ කඩ සාප්පු කරා යාම බොහෝ දුරට අතහැර දැමූ මිනිසුන් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹුණි. විනෝදාශ්වාදයන් සඳහා ද අන්තර්ජාලයේ පිහිට පැතූහ.

තාක්ෂණික මෙවලම් හා උපාංග නිර්මාතෘවරුන්ගේ සහ කොටස්කරුවන්ගේ පෞද්ගලික වත්කම් මහා පරිමාණයෙන් ඉහළ යන ආකාරය එමගින් දකින්නට ලැබුණි.

නගර වශයෙන් නොව, රටවල් වශයෙන් ගත් කල ද මෙම ධනපති ලැයිස්තුවට වැඩිම බිලියනපතියන් සංඛ්‍යාවක් අලුතින් එක්වී ඇත්තේ චීනයෙනි.

අමුතු විදියට ජේත්තුව

ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ වක්‍ර ආකාරයෙන් පාරට්ටු බෑම සිදුකරන බව මෙල්බර්න් නුවර RMIT විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අංශයේ මහාචාර්ය හයිජින්ග් යූ නිරීක්ෂණය කර ඇත.

“මිල අධික භාණ්ඩවල ඡායාරූප පළකිරීම වෙනුවට ඇතැම් පොහොසතුන් දැන් අමුතු විදියට ජේත්තුව පෙන්වනවා.” ඇය පැවසීය.

සමාජ මාධ්‍ය තරුවක් වන MengQiqi77 පළ කර තිබූ ප්‍රකාශයක් ඊට උදාහරණයක් ලෙස පෙන්වා දුන්නාය.

MengQiqi77 සාමාන්‍යයෙන් සිය සුඛෝපභෝගී ජීවන රටාව සමාජ මාධ්‍ය ඔස්සේ නිතිපතා යාවත්කාලීන කරන්නියකි. විදුලි මෝටර් රථ ආරෝපණය කරගැනීම සඳහා ප්‍රමාණවත් තරමට පහසුකම් සපයා නොමැති බව පැමිණිලි කරමින් මෑතකදී ඇය විසින් Weibo සමාජ මාධ්‍යයේ ප්‍රකාශයක් පළ කරනු ලැබ තිබුණි. ඇය පළ කර තිබූ ප්‍රකාශය මෙසේය.

“ඉතින්, මගේ ස්වාමි පුරුෂයාගේ Tesla වාහනය වෙනුවෙන් අපිටම කියල පෞද්ගලික ගරාජයක් සහිත ලොකු නිවසක පදිංචියට යනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නැහැ.”

තවත් වතාවක ඇය පළකර තිබුණේ “යුවාන් 30,000ක් විතරක් වටිනා” ඇඳුමක් (Zegna cashmere suit) තෝරා ගැනීමට තරම් තමන්ගේ ස්වාමි පුරුෂයා “උවමනාවට වඩා අරපිරිමැස්මෙන්” කටයුතු කර ඇති බවකි.

අන්තර්ජාලයේ සරිසරන්නන් කුපිත කරවන එවැනි ප්‍රකාශ ද පළවූයේ වැඩි ඈතක නොවේ.

MengQiqi77 ගේ ප්‍රකාශයන් සමච්චලයට ලක් කරමින් ඇතැමුන් අන්තර්ජාලයේ නොයෙකුත් දේ ලියන්නට විය. ඇයට ආරූඩ නාමයන් ද පටබඳින්නට විය. ඇයගේ ලේඛන ශෛලිය භාවිත කරමින් අන්තර්ජාලය පුරා ප්‍රහසන නිර්මාණය වන්නට විය.

MengQiqi77 ගේ ප්‍රකාශයන් හේතුවෙන් බලවත් අසතුටින් පසුවන පුද්ගලයෙකු යෝජනා කර තිබුණේ “ජේත්තුව පෙන්වීම සඳහා මොන දේ ලිව්වත් ඒක තේරුණේ නෑ වගේ” සිටීමෙන් ඇයගේ කෝපය ඇවිස්සිය හැකිවනු ඇති බවය.

කෙසේ වෙතත් ධනයෙන් ප්‍රසිද්ධිය ලබන්නන් වෙනුවෙන් පහසු විසඳුමක් නම් නොමැති හැඩකි.

(බීබීසී පුවත් සේවයට වායියී යිප් විසින් ලියන ලද වාර්තාවක් ඇසුරෙනි – උපුටා ගැනීම ජූනි 16 වැනි දින බී.බී.සී සන්දේශයෙනි. ශීර්ෂපාඨය සංශෝධනය කර ඇත.

Related Posts