ගෝඨාභය කියන විදිහට කෝටි 2600 කැපුවොත් 230,000කට රැකියා නෑ

Spread the love

රාජ්‍ය ආයතන මහාභාණ්ඩාගාරයට බරක් නොවන ලෙස පවත්වාගෙන යනවා යැයි ඝෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ දැනට රාජ්‍ය ආයතන වෙනුවෙන් රජය වැය කරන කෝටි 2600ක මුදල නතර කරන බව නම් එයින් දෙලක්ෂ තිස්දාහසකට රැකියා අහිමිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම ආයතන සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවන්නේ නැතිව ක්‍රියාත්මක කරන ආකාරය ඝෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව ඉදිරියේ පැහැදිලි කළ යුතු බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(24) බද්දේගම පෝද්දල ප්‍රදේශයේ පැවැති ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීමේ ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා- අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රටපුරා අපේ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශ කරමින් සිටිනවා. එම ප්‍රතිපත්ති අපි සුළු සංශෝධන කරමින් ජනාධිපතිවරණයෙන් පසු ක්‍රියාත්මක කරනවා. අනිත් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති රටට, ජනතාවට බලපාන්නේ කොහොමද කියා අපි සොයා බැලිය යුතුයි.

පසුගිය 22 දින ඝෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කිව්වා. සියලුම රාජ්‍ය ආයතන මහාභාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකරයට පවත්වාගෙන යනවා කියා පැවසුවා. ඒ කියන්නේ පාඩු ලබන සංස්ථාවලට මහා භාණ්ඩාගාරයෙන් සංස්ථාවලට මුදල් ගෙවන්නේ නෑ කියායි. ඒ ප්‍රතිපත්ති මගින් සංස්ථාවල දෙලක්ෂ තිස්දාහකට රැකියා නැතිවෙනවා, බඩු මිල වැඩිවෙනවා.

මම භාණ්ඩාගාරයෙන් ඇහුවා පාඩුවන ආයතන වලට ගෙවන මුදල කීයද කියා. ඒ අය කිව්වා රුපියල් කෝටි 2600ක් රජයේ සංස්ථා වෙනුවෙන් ගෙවනවා කිව්වා. පාඩු ලබන ආයතන වලට දැන් මේ මුදල් ගෙවන එක නැවැත්වූවොත් ආයතන වසා දමන්න වෙනවා. එසේ වුණොත් දැනට සේවය කරන දෙලක්ෂ තිස්දාහක දෙනෙකුට රැකියා අහිමි වෙනවා.

අපි රැකියා ටික ආරක්ෂා කරන්න අවශ්‍ය නිසා මුදල් ලබා දෙනවා. ජල සැපයුම් සංස්ථාව පාඩුවට යන්නේ. එම සංස්ථාවෙන් ජල කියුබික් මීටරයක් අලෙවි කරන්නේ රුපියල් 13කට. කියුබික් මීටරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 47ක් වියදම් වෙනවා. අපි ජලසම්පාදන මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්නේ නැතිනම් කොහොමද ජල සම්පාදක මණ්ඩලය පාඩුව හොයාගන්නේ.

බිදුලි බලය ලබාදීමෙදීත් එහෙමයි. භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදුන්නේ නැතිනම් ජනතාවගේ විදුලි බිල පස් ගුණයකින් වැඩිවෙනවා.

රජයේ සේවකයන්ගේ මාසික ගමන්වාර ප්‍රවේශ පත්‍රය හය ගුණයකින් වැඩිවෙනවා. මේකයි ඝෝඨාභය රාජපක්ෂගේ භාණ්ඩාගාර මුදල් ආරක්ෂා කරන ක්‍රමය. ජීවන වියදම වැඩි කරවන, ලක්ෂ ගාණකට රැකියා අහිමි කරන ආණ්ඩුවක් තමයි ඔවුන් ගේන්න යන්නේ. මන් කැමතියි එතුමාට තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තියෙන් රටට වෙන වාසිය මොකක්ද කියා පැහැදිලි කර දෙන්න ආරාධනා කරන්න. මෙම ප්‍රශ්නයට එතුමා පිළිතුරු දිය යුතුමයි.

මෙම අවස්ථාවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, මැති ඇමතිවරුන් වන රාජිත සේනාරත්න, විජයපාල හෙට්ටිආරච්චි, වජිර අබේවර්ධන, සරත් ෆොන්සේකා , ඇතුළු දකුණු පළාත් සභාවේ මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වූහ.

RSL

Related Posts