ගොවීන්ගේ ප‍්‍රායෝගික අවශ්‍යතාවන් කෙරෙහි ජනපතිගේ අවධානය

Spread the love

වැවිලි ක්ෂේත්‍රය පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ගොවීන්ගේ ප‍්‍රායෝගික අවශ්‍යතාවන්ට මූලිකත්වය ලබා දිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (30 අගෝ.) පැවසුවේය.

ජනධිපතිතුමා මෙම අදහස් පළ කළේ, 2012 අය-වැය සැකසීමට, යෝජනා ලබා ගැනීම අරමුණු කර ගෙන වැවිලි කර්මාන්ත, පොල් සංවර්ධන සහ සුළු අපනයන බෝග ප‍්‍රවර්ධන අමාත්‍යාංශවල සහභාගීත්වයෙන් ඊයේ පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවක දී ය.

වගාකරුවන්ට හෙක්ටයාරයකට පොහොර සඳහා ගෙවන සහනාධාර මුදල් ප‍්‍රමාණය ඉහළ නැංවීම, ගොවීන්ට ගුණාත්මක ප‍්‍රමිතියෙන් ඉහළ බීජ ලබා දීම, කම්හල් නවීකරණය හා කළමනාකරණය, පශ්චාත් අස්වනු හානි වළක්වා ගැනීම හා පලිබෝධනාශක ක‍්‍රමවත් භාවිතය පිළිබඳ ව ගොවි ජනතාව මෙන් ම පොදු මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විණි.

වැවිලි ක්ෂේත්‍රය පසුගිය වසර තුළ ලබා ඇති ප‍්‍රගතිය සමාලෝචනය කළ ජනාධිපතිතුමා, වත්මන් තරගකාරී වෙළෙඳපොළ තුළ අපගේ වැවිලි බෝගවලට ස්ථාවර මිලක් ලබා ගැනීමට නම් නවීන තාක්‍ෂණය මෙන් ම විදේශීය ආයෝජකයන් දිරිගැන්වීම ද අවශ්‍ය බැව් පැවසීය.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, රෙජිනෝල්ඞ් කුරේ, ජගත් පුෂ්ප කුමාර මහත්වරුන් ද මුදල් හා ක‍්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

RSL

Related Posts