“ගාලු සංවාදය” අන්තර්ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණය ඇරඹේ

Spread the love

“ගාලු සංවාදය” (Galle Dialogue) අන්තර්ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණය අද (14) පෙරවරු 9.30ට ගාල්ල ලයිට් හවුස් හෝටලයේ එඩිස්ටන් ශාලාවේ දී ආරම්භ විණි. ඉන්දියානු සාගරික අභියෝග ජයගැනීම සඳහා උපක්‍රමික සහයෝගිතාව තේමාවෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 19ක නාවික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද විදේශ දූත මණ්ඩල ප්‍රධානීහු ද සම්මන්ත්‍රණයට එක් ව සිටිති.

භූගෝලීය වශයෙන් ඉන්දීය සාගරයේ ඉතා ම වැදගත් කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව අතීතයේ පටන් ම විවිධ නාවික ක්‍රියාදාමයන් මෙන් ම සමුද්‍රීය වාණිජ කටයුතු සම්බන්ධයෙන් ද විශාල දායකත්වයක් දක්වා ඇති බවට ඓතිහාසික සාක්ෂි රැසක් විද්‍යමාන වේ.

ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදය පරදවා දෙවසරක් ගෙවීයන සමයක ත්‍රස්ත ක්‍රියාකාරකම් නිසා බිඳ වැටුණු ආර්ථිකය යළි පණගැන්වීමේ අදිටනින් සීග්‍ර සංවර්ධන ක්‍රියාදාමයක් රටතුළ ක්‍රියාත්මක වෙමින් පවතී. රට සංවර්ධනය කිරීමේ ජාතික අරමුණු ආරක්ෂා කර ගැනීමට අමතර ව ඉන්දීය සාගර කලාපය තුළ වර්ධනය වෙමින් පවතින අභියෝග ජයගැනීම මෙන් ම කලාපය හරහා දිවෙන අන්තර්ජාතික මුහුදු මාර්ග සුරක්ෂිත කිරීම ද කලාපීය නාවික හමුදාවන් වෙත පැවරී ඇති වගකීමකි.

එම අභියෝග ජයගැනීම සඳහා කලාපීය එකමුතුවත්, පොදු සාමුද්‍රීය උපක්‍රමත්, සාගර සම්පත් හුවමාරුවත් තුළින් ඉන්දීය සාගර කලාපයේ සුරක්ෂිතතාව සහ කලාපීය දියුණුව කරා ළඟාවීම යන කාරණා පිළිබඳ ව මේ සමුළුවේ දී වැඩි අවධානයක් යොමු කෙරේ.

RSL

Related Posts