ඛනිජ තෙල් මිලදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

Spread the love

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් පිරිනමා ඇතැයි කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.  

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් මෙම තීරණාත්මක සහය ලබා දෙන බව සඳහන් කර ඇත.

සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 ජනවාරි 15 වන දින අන්තර්ජාලය ඔස්සේ සවිස්තරාත්මක සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික සහයෝගීතාවයට අදාළ විවිධ අංශ පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙම ණය පහසුකම කඩිනමින් ක්‍රියාවට නැංවීම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් මාසයේදී සිදු කරන ලද ඉන්දීය සංචාරය අතරතුර හඳුනාගත් ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන කුළුණු හතරින් එකක් යථාර්තවත් කිරීමට ඉවහල් වනු ඇතැයි මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

මෑතකදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 900කට අධික විදේශ විනිමය සහය ලබා දෙන ලදී. මෙම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීමට, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායකත්වය දැක්වීමට සහ ද්විපාර්ශවික ආර්ථික සහ වාණිජ සහයෝගීතාවයට වැඩි ජවයක් ලබා දීමට ඉන්දියාව දක්වන කැපවීම පිළිඹිබු කරයි.

Related Posts