කොළඹ පිහිටි වටිනා පෞරාණික ගොඩනැගිලිවලට මොකද වෙන්නේ?

Spread the love

කොළඹ නගරයේ ඇති රජය සතු ඉතා වටිනා ඉඩම් චීනය ඇතුලු විවිධ විදේශීය සමාගම් වලට විකිණීමට රජය සැරසෙන බව මේ දිනවල මහත් කතාබහකට ලක්වී ඇති මාතෘකාවකි.

මුලින්ම වාර්තා වූයේ කොළඹ වරාය නගරය ආසන්නයේ ඇති මෙම වටිනා ඉඩම් චීනයට විකිණීමට සැරසෙන බවකි. එහෙත් මේ වන විට එයින් සමහර ඉඩම් වලට වෙනත් විදේශ ආයෝජකයන්ගේ ද අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

මෙයින් නවතම වාර්තාවලින් පැවසෙන්නේ කොළඹ වරායේ හෙක්ටයාර පහකට අධික භුමි ප්‍රදේශයක් කොළඹ වරාය දකුණු ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය ලෙස සමාගමකට පවරා එහි කොටස්වලින් සියයට 85ක ප්‍රමාණයක් චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින් නම් සමාගමට පැවරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරපත් කර ඇති බවයි.

ගුවන් හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල

ඡායාරූප මූලාශ්‍රය,SRI LANKA AIRFORCE

ඡායාරූප ශීර්ෂ වැකිය,ගුවන් හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල

මෙයට අමතරව කොළඹ පිහිටි ගුවන් හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල පිහිටි භුමිය හා කොළඹ කොටුවේ චාමර්ස් ධාන්‍යාගාරය පිහිටි ඉඩම දිගුකාලීන බදු පදනම මත විදේශ සමාගමකට බදු දීමට අවශ්‍ය මුලික පියවර ගෙන ඇති බවටත් වාර්තා පළවිය.

පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුනේ කොළඹ 2 හි පිහිටි ගුවන් හමුදා මූලස්ථාන දේපල සහ නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ කොටුවේ පිහිටි චාමර්ස් ධාන්‍යාගාර ඉඩම සඳහා ඕමාන රජයේ ආයෝජන අංශයක් විසින් මූලික උනන්දුවක් දක්වා ඇතැයි නිල ආරංචි මාර්ග පැවසූ බවයි.

කොළඹ ගෆුර් ගොඩනැගිල්ල
ඡායාරූප ශීර්ෂ වැකිය,කොළඹ ගෆුර් ගොඩනැගිල්ල

එහි මුලික පියවර ලෙස එම දේපල තුළ ගොඩනැගීමට අපේක්ෂා කරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූලික පියවර ඉටුකිරීම සඳහා එම ආයෝජන සමාගමෙන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ බැඳීම් රහිත ගිවිසුමකට අත්සන් කර තිබේ යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් විය.නාගරික සංවර්ධන අධිකාරිය ඩී ආර් විජයවර්ධන මාවතෙහි බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශ සඳහා සිය ඉඩම් වලින් බොහොමයක් අවුරුදු 30 සිට 99 දක්වා බදු දීමට ක්‍රියාශීලීව ආයෝජන කළ හැකි ආයෝඡකයින් සොයමින් සිටින්නේ යයි නිලධාරීන් පැවසූ අතර ඒ සඳහා කටාර් පාර්ශවය යම් උනන්දුවක් දක්වා ඇතැයි ඔවුන් පැවසූ බව ද පුවත්පත වැඩිදුරටත් වාර්තාකර තිබිණ.

චාමර්ස් ධාන්‍යාගාර ඉඩම බදු දීමට නාගරික සංවර්ධන අධිකාරිය අවම වශයෙන් 2010 වසරේ සිට ආයෝජකයෙකු සොයමින් සිටියි.කොළඹ නගරය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රධාන සැලැස්මක් සකස් කර ඇති අතර එමඟින් පෞරාණික නගරය, ප්‍රවාහන කේන්ද්‍රස්ථානය, මුල්‍ය නගරය සහ වාණිජ නගරය යන ප්‍රදේශ වෙන් කිරීමට අපේක්ෂා කෙරේ.

Colombo landmark buildings

ආගන්තුක සත්කාරය සහ විවේකය, නේවාසික සහ කාර්යාල කුළුණු, තොරතුරු තාක්‍ෂණය පදනම් කරගත් සංවර්ධන ව්‍යපෘති, සැපයුම් මධ්‍යස්ථානය සහ ව්‍යාපාර උද්‍යාන සංවර්ධනය; සහ බහු මහල් රථ ගාල් ඇතුලු ඉහළ, මධ්‍යම ඇතුළු විවිධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති වැනි නිශ්චිත අරමුණු සඳහා රට පුරා ඉඩම් කොටස් හතලිස් දෙකක් ද හඳුනාගෙන ඇත. මේ අතර බේරේ වැව සංවර්ධනය සඳහා බිම් කොටස් පහක් ලබා දීමේ සැලසුමක්ද සකස්කර ඇත.බස්නාහිර පළාතේ බදු දීමට ඇති දේපල වන්නේ බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාර ඉඩම; නාරාහේන්පිට පිහිටි ට්‍රැක්ටර් සංස්ථාව පිහිටි ඉඩම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මිල්කෝ ඉඩම; ඩී ආර් විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, සී ඩබ්ලිව් මැකී පී එල් සී සතු ඉඩම, සතොස දේපල දෙකක් සහ මහජන බැංකු පුහුණු මධ්‍යස්ථානය යි. යූනියන් පෙදෙසේ විසුම්පාය, ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි එයිටි ක්ලබ් සහ කොළඹ 1 ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ ඉඩමක් ද ආගන්තුක සත්කාරය සහ විවේක ව්‍යාපෘති සඳහා වෙන්කර ඇත.කොළඹ 7 නොරිස් කැනල් පාරේ සහ බත්තරමුල්ල යන ස්ථාන වල බහු මහල් රථ ගාල් සඳහා ඉඩම් පවරාගෙන ඇත.

කොළඹ හිල්ටන් හෝටල් ගොඩනැගිල්ල
ඡායාරූප ශීර්ෂ වැකිය,කොළඹ හිල්ටන් හෝටල් ගොඩනැගිල්ල

මෙයට අමතරව කොළඹ පිහිටි තවත් ඉතා වැදහත් කමක් ඇති ඉතා වටිනා ඉඩම් කිහපයක් ද විශේෂ ව්‍යාපෘතියක් සඳහා වෙන්කර ඇති අතර මෙම ඉඩම් හිස් ඉඩම් නොව ඓතිහාසික වටිනාකම් ඇති කොළඹ නගරයේ ඇති ඉතා වටිනා ඉඩම් වීමත් විශේෂයකි.

මෙම ගොඩනැගිලි ව්‍යුහය හා නිර්මාණාත්මක භාවය අතින්, වාස්තු විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික සංරක්ෂණ වටිනාකමක් ඇති, කොළඹ නගරයෙහි ඉංග්‍රීසි පාලන සමය පිලිබඳව තතු සපයන මූලාශ්‍ර වශයෙන් හදුන්වාදිය හැකි ඉතාමත් ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිලි වීම විශේෂ කරුණකි.

මෙසේ විකිනීමට සැරසෙන්නේ කොළඹ වරාය නගරය අවට පිහිටි රජය සතු ඉඩම් සහ ගොඩනැගිලි රැසකි. මේ සම්බන්ද සකච්චාව කරලියට එන්නේ එයට අදාළව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පදනම මත ආයෝජන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට මැයි 05 වන දා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කිරීමත් සමගය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වන සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ආයෝජන ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති රාමුව නමින් ඉදිරිපත් වූ එම කැබිනට් පත්‍රිකාවට මැයි මස 17 වනදා අනුමැතිය හිමිවී ඇත.

කොළඹ නගරයේ දේපොළ කීපයක අයිතිය පැවරීමට යන බව කියන සෙලන්දිවා ආයතනය ගැන කරුණු කිසිවක් රටට හෙළි කර නැති හෙයින් ඒ පිළිබඳව අගමැතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකශයක් කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යංශය
ඡායාරූප ශීර්ෂ වැකිය,විදේශ කටයුතු අමාත්‍යංශය

මේ අතර විශේෂඥයන් පවසන්නේ බොහෝ වටිනාකමක් ඇති මෙම ගොඩනැගිලිවල අද වන විට පවතින බාහිර පෙනුම මෙන්ම අභ්‍යන්තර භාවිතාවන් සැලකීමෙහිදී, දැනට එම පරිශ්‍රයන් භාරකාරත්වය දරන ආයතන වලට ඒ සියලු වටිනාකම් රැකෙන අයුරින් ගොඩනගිලි පවත්වාගෙන යාම ප්‍රශ්නකාරී වී ඇති බව නොරහසක් බවයි.

නඩත්තුව සඳහා යෙදිය යුතු අධික වැය, රාජ්‍ය ආයතන වශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ගැනීමෙහි අපහසුතාවන්, යොදවන මුදලට සෘජු ආයතනිකමය ප්‍රතිලාභ නොලැබීම, ආයතනමය කටයුතු වලට ගොඩනැගිල්ල යොදවා ගැනීමේ ප්‍රායෝගික ගැටළු ආදී තවත් හේතූන් මෙම තත්වයන්ට තුඩු දී ඇති බව ඔවුන් පෙන්වාදෙන ප්‍රධාන කරුණුවේ.

විපක්ෂ මතවාදී ක්‍රියාකාරී කණ්ඩායමක් වන 43 වන සේනාංකය පවසන්නේ එවැනි අවස්ථාවන්හිදී ඓතිහාසික උරුමයන් ලෙස සැළකෙන ගොඩනැගිලි රැක ගැනීම පිණිස ලොව පුරා බහුලව යොදාගන්නා සංරක්ෂණ ක්‍රම වේදයක් වන “අනුගත ප්‍රති භාවිතය” කොළඔ නගර මධ්‍යයෙහි පවතින වටිනා පැරණි ගොඩනැගිලි පවත්වාගෙන යෑම සඳහාද යොදා ගත හැකි බවයි.

“දැනටමත් කොළඹ මෙන්ම සෙසු නගර රාශියකම මෙවන් විශිෂ්ට ප්‍රතිභාවිතයන් පිළිබඳ උදාහරණ බොහොමයෙකි. ඒ සඳහා අවශ්‍ය වන සුදුසු භාවිතයන්ද, එවන් සුදුසු භාවිතයන්ට ගොඩනැගිලි ප්‍රතිනිර්මාණය කොට යොදා ගැනීම සඳහා ආයෝජනයන් කිරීමට සූදානම් ආයෝජකයින්ද සොයා ගැනීම අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු දෙයකි. එසේම රජයට ඒ සඳහා මූදල් යෙදවිය නොහැකි නම් සුදුසු ලෙස පෞද්ගලික අංශයේ සහයෝගය සහ සහභාගිත්වය ලබා ගැනීමෙහිද ගැටළුවක් නොපෙනේ,” යනුවන් එම සංවිධානය පැවසීය.

එහෙත් ඔවුන් පෙන්වාදෙන්නේ ඉහත සඳහන් කළ ගොඩනැගිලි සෙලෙන්දිවා නම් රාජ්‍ය ආයතනයක් භාරයට පත් කොට ඒ හරහා පෞද්ගලික පාර්ශවයන් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය මෙතරම් විවාදයකට ලක්ව ඇත්තේ මෙවැනි ගොඩනැගිලි සංරක්ෂණය කොට ප්‍රතිභාවිතයන් සඳහා යෙදවීමෙහි හා බදු දීමෙහි මීට පෙරත් කටයුතු කොට පලපුරැදු ඇති නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත් කොට මෙම කටයුත්ත වෙනත් ආයතනයක් වෙත යොමුකිරීමත් සමග බවයි.

“නාගරික සංවර්ධන අධිකාරියට තවදුරටත් මෙවන් ව්‍යාපෘති කිරීමෙහි ධාරිතාවක් නොමැතිද? නොඑසේ නම් රාජ්‍ය ව්‍යාපාරයක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය අනුගමනය කළ යුතු ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වුවහොත් වත්මන් දේශපාලන අධිකාරියට ඇවැසි පාර්ශවයන්ට මෙම වටිනා දේපල ලබාදීමට බාධාවන් වන නිසා විය හැකි නිසාද,” යනුවෙන් 43 වන සේනාංකය ප්‍රශ්නකරයි.

යෝර්ක් ගොඩනැගිල්ල
ඡායාරූප ශීර්ෂ වැකිය,යෝර්ක් ගොඩනැගිල්ල

“එසේත් නැතිනම් කිසියම් පාර්ශවයන්ට තොගයක් වශයෙන් හෝ තනි තනි වශයෙන් මෙවා ලබා දීමට දැනටමත් එකඟ වී ඇති නිසා විය හැකිය. වත්මන් රජය කොළඹ වරාය නගර පනත ලහි ලහියේ සම්මත කොටගත් ආකාරය, කොළඹ අවට ඉඩම් කිසිදු තරඟකාරී පදනමකින් තොරව විකුණා දැමූ ආකාරය, ආපදා අවස්ථාවන් පවා තම හිතවතුනට ව්‍යපාර කොට ගැනීමට අවස්ථාවක් කර දුන් ආකාරය පිළිබඳව සළකා බැළීමෙහිදී මෙවන් සැකයන් මතුවීම නොවැළැක්විය හැක.”

“දෙවැනුව, කොළඹ කොටුව ප්‍රදේශයෙහි ඉතා ඉහල යන ඉඩම් වටිනාකම සළකා බැලූ විට පුරාවිද්‍යා පනත අනුව බිඳ දැමිය නොහැකිවාක් මෙන්ම බාහිර ආකෘතිය වෙනස් නොකර සංරක්ෂණය කළ යුතු මෙම ගොඩනැගිලි රජය කරවන පිරිස දකින ආකාරයට නාගරික සංවර්ධනයට බාධාවක් වී ඇතිද,” යනුවෙන් ද ඔවුහු වැඩිදුරටත් ප්‍රශ්නකරති.

මොකක්ද මේ සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම?

සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමේ කොටස් සියයට සියක්ම මහා භාණ්ඩාගාරයට හිමිකාරිත්වය ඇති දැනටමත් ආරම්භකර ඇති සමාගමකි.

නාගරික සංවර්ධන අධිකාරිය සතු ඕනෑම දේපලකට අදාළව ආයෝජන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට මෙම සමාගමට හැකියාව ලබා දී තිබේ.

සෙලෙන්දිවා සමාගමට පැවරෙන වගකීම් මොනවාද ?

සුදුසු ආයෝජන හඳුනාගනිමින් ඒ සදහා පහසුකම් සැලසීම. යම් රජයේ වත්කමක දිගුකාලීන බදු අයිතිය හෝ කලමනාකරණ අයිතිය පෞද්ගලික ආයෝජකයෙකුට පැවරීම, නාගරික සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති ඕනෑම ඉඩමක් සඳහා වානිජමය කොන්දේසි මත දිගුකාලීන බදු ගිවිසුම් ඇතිකරගැනීම, පෞද්ගලික ආයෝජන සඳහා අවශ්‍ය අනුමැතීන් සහ නිශ්කාශන ලබාගැනීමේදී ආයෝජකයාගේ කාර්ය පහසු කිරීම, වෙළෙඳපොල මිල ගනන් යටතේ ගිවිසුමට පෙර හා පසුව ආයෝජකයින්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම, ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අදාළ ප්‍රවර්ධන කටයුතු සඳහා පිළිගත් අලෙවිකරණ සමාගමක් යොදවා ගැනීම, සමාගමට අදාල සේවා සහ ආයෝජන ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවළියක් ගොඩ නැංවීම යන කරුණු මෙහි ප්‍රධාන වගකීම් ලෙස දැක්විය හැකියි.

ප්‍රධාන තැපැල් කාර්යාලය කොළඹ
ඡායාරූප ශීර්ෂ වැකිය,ප්‍රධාන තැපැල් කාර්යාලය කොළඹ

සෙලෙන්දිවා සමාගම මගින් ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ කෙසේද?

කැබිනට් පත්‍රිකාවේ සදහන් වන ආකාරයට සෙලෙන්දිවා සමාගම යටතේ පරිපාලන අනුබද්ධ සමාගමක් හෙවත් විශේෂිත අවශ්‍යතා ආයතනයක් (එස්පීවී) හරහා එම ආයතන රදවාගැනීමේ සමාගමක් පිහිටුවා පවත්වාගැනීම.

ස්පෙෂල් පර්පර්ස් වෙහිකල් එකක් (එස්පීවී), කියන්නේ ආයෝජන කටයුතුවලදී අදාල නිශ්චිත ආයෝජන කාර්යය සඳහාම ආරම්භ කරන සමාගමකි.

නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඇති යම් දේපොලක් ආයෝජන ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කරන්නේ නම් මේ හෝල්ඩින් එස්පීවී යටතේ ඇති තවත් විශේෂිත අවශ්‍යතා ආයතනයක් බවට පත්කළ යුතුය.

ආයෝජකයින් හඳුනාගෙන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ මෙම විශේෂිත අවශ්‍යතා ආයතනය යටතේයි.

ආයෝජන සදහා දැනට හඳුනාගෙන තිබෙන දේපල මොනවාද?

මැයි 5 වෙනිදා අගමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාවට අනුව විශේෂිත අවශ්‍යතා ආයතනයන් තුනක් දැනට ප්‍රකාශයට පත්කර ඇත.

කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වෙයාර්, නිශ්චල දේපොල සංවර්ධන පහසුකම් සැලසීම සහ රජයට අයත් සත්කාරක අංශය මේ විශේෂිත අවශ්‍යතා ආයතනයන් තුනයි.

සෙලෙන්දිවා හෝල්ඩින් එස්පීවී යටතේ ඇති විශේෂිත අවශ්‍යතා ආයතනයන් තුනක් මගින් කොළඹ නගරයේ හා ඉන් පිටත පිහිටි ඉතා වටිනා රජයට මෙතෙක් අයිතිව තිබු දේපල රැසක් පෞද්ගලික බොහෝවිට විදේශීය ආයෝජකයින්ට ලබාදීමට යෝජිතයි.

කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වෙයාර් ව්‍යපෘතියට අයිති දේපල:

අක්කර 1.57 ක භූමි ප්‍රමාණයක පිහිටි ග්‍රෑන්ට් ඔරියන්ටල් හෝටලය හා යෝක් ගොඩනැගිල්ල.අක්කර 0.75 ක භූමි ප්‍රමාණයක පිහිටි ගෆූර් ගොඩනැගිල්ල.අක්කර 1.5 ක පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල.සහ අක්කර 0.81 ක් භූමි ප්‍රමාණයක පිහිටි මහ තැපැල් කාර්යාලය.

නිශ්චල දේපොල සංවර්ධනය යටතේ ඇති දේපල:

කොළඹ නෙලුම් කුලුන ආසන්නයේ අක්කර 1.37 ක භූමියක පිහිටි සීනෝර් අවන්හල.අක්කර 5 ක භූමියක පිහිටි වෝටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය සහ යාපනය කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය.

රජයට අයත් සත්කාරක අංශය ලෙස හදුන්වන දේපල

හිල්ටන් කලම්බු ඇන්ඩ් ස්පෝට් සෙන්ටර්.ග්රෑන්ඩ් හයට් කලම්බු.

මේ සියලුම දේපල සෙලෙන්දිවා හෝල්ඩින් එස්පීවී යටතේ ඇති විශේෂ කාර්ය සමාගම් තුනක් මගින් ආයෝජකයින් වෙත පවරාදීමට සැලසුම් කර ඇත.

එහිදී ආදළ ව්‍යපෘතිවල දැනට කොටස් හිමියන් සදහා ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක්ද අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇති අතර කොටස් වෙළඳපොල හරහාද ව්‍යපෘතිවල ආයෝජනය කිරීමේ අවස්ථා පිළිබඳව අවධානය යොමුකර ඇත.

මේ අතර කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල බෙල්ලන්තොට ප්‍රදේශයේ පිහිටි අක්කර 14 ක භූමි ප්‍රදේශයට රැගෙනයාම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පොලිස් මූලස්ථානය ඉවත් කිරීමත් සමග කොළඹ යෝර්ක් වීදිය හා චෛත්‍ය පාර සම්බන්ධ වන මාර්ගය මැදි කොට ඇති ඉපැරණි ගොඩනැගිලි හා භූමියද හිස්වනු ඇත.

මීට අමතරව බේරේ වැවට මුහුණලා තිබූ වසර 44ක් පැරණි කොළඹ කොටුවේ පිහිටි මහජන බැංකු මූලස්ථානය කොළඹ දෙක හයිඩ් පාර්ක් ප්‍රදේශයට රැගෙනයාමේ ව්‍යාපෘතියක්ද දැන් ආරම්භවී තිබේ. රජය පවසන්නේ කොළඹ කොටුවේ පිහිටි ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල ද බත්තරමුල්ල ප්‍රදේශයට ගෙනයාමට කටයුතු කරමින් සිටින බවයි.

මේ අනුව පෙනී යන්නේ කොළඹ වරාය නගරයට ආසන්නයේ පිහිටි රජයේ ගොඩනැගිලි බොහොමයක් මේ වන විට එම ප්‍රදේශ වලින් ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

Related Posts