කොළඹ දුගී ජනයාට පැල්පතට වඩා ලස්සන වඩා හොඳ නිවාසයක් – ජනපති

Spread the love

කොළඹ නගරයේ ජනතාව තමන් උපන් බිමෙන් කොහේටවත් ගෙන යන්නේ නැති බව අවධාරණය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔවුන්ට පැල්පතට වඩා ලස්සන වඩා හොඳ නිවාසයක් ඒ ස්ථානයේ ම සාදා දෙන බවට සහතික වෙයි.

මැතිවරණ සමයේ නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාර ගෙන යෑම ස්වභාවයක් බව පැවසූ ජනාධිපතිතුමා කොළඹ නගරය සහ මංමාවත් ලස්සන කරන අතර, කොළඹ ජනතාවගේ ජීවිතය ද ලස්සන කිරීම රජයේ අභිලාෂය බව පැවසීය.

ජනාධිපතිතුමා මේ බව පැවසුවේ ඊයේ (11 සැප්.) පස්වරුවේ අරලිය ගහ මන්දිරය වෙත කොළඹ මහනගර සභාවට එක්සත් ජනතා සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයින් සමඟ පැමිණි කොළඹ නගරයේ මුස්ලිම් ජනතාව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිතුමා කිසිදු වේලාවක කොළඹින් ජනතාව ඉවත් කිරීමට තමා හෝ රජය කතා කර නොමැති බවත්, ගමේ සිට පැමිණි තමා මිනිසුන්ගේ ප‍්‍රශ්න දුක්ගැහැට හොඳින් හඳුනන බවත් පැවසීය. කොළඹ උපන් ජනතාවගේ ගම කොළඹ යැයි ද පැවසූ ජනාධිපතිතුමා ඒ ගමෙන් ජනතාව කිසිදා ඈත් කළ නොහැකි බවද සඳහන් කළේය. අද කොළඹ ඉතා පිරිසිදු නගරයක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා තැන තැන කුණු ගොඩවල් නොමැති බවත්, දිනපතා පාරවල් සුද්ධ පවිත‍්‍ර වන බවත්, එලෙස ම කොළඹ වතුවල ජීවත්වන ජනතාවගේ ගැටළු විසඳා ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගත යුතු බවත් පැවසීය.

උතුරේ සියලු මුස්ලිම් ජනතාව එදා පලවා හැරිය බව සිහිපත් කළ ජනාධිපතිතුමා ඔවුන්ට සියලු පහසුකම් ලබා දී දින 45කින් නැවත පදිංචි කළ බවත් අපට ජාතිවාද, කුලභේද ආගම් භේද හෝ පළාත් වාද නොමැති බවත් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

නගර සභාවකට තනිව ගැටලු විසඳාගත නොහැකි ය. ආණ්ඩුවක් පවතින විට ඒ ආණ්ඩුව සමඟ එකට වැඩ කළ හැකි නගර සභාවක් ද තිබිය යුතු බව කී ජනාධිපතිතුමා එසේ නොමැති වූ විට සිදුවන්නේ ජනතාවට සේවය කිරීමට නොහැකි වීම බවත් ඒ සඳහා ඉතිහාසයේ පාඩම් ඕනෑ තරම් ඇති බවත් එහිදී පැවසීය.

RSL

Related Posts