කොවිඩ් ආසාදිතයින් සහ ආසාදනය ගැන ‘බරපතළ අනතුරු ඇගයීම් දෙකක්’

Spread the love

“අපේ සාමාන්‍ය ගණනය කිරීම් අනුව දින 5 හෝ 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් සෑම දින 5කට වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගතවෙනකොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනය ඉක්මවලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්.”

මෙසේ පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා.

හේමන්ත හේරත් මහතාගේ මේ ප්‍රකාශය බරපතළ දෙයක් බවයි වෛද්‍ය විශේෂඥයින් කියන්නේ. ඒත් මේ ප්‍රකාශය ගැන සාමාන්‍ය ජනතාව අතර පවා සැකයක් නැහැ. ඔවුන් ද මේ මතය පිළිගන්නවා.

මේ අතර කොවිඩ් වෛරසය ගැන පර්යේෂණ පවත්වන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අද (18) ජාතික පුවත්පතක් සමග පවත්වා ඇති සාකච්ඡාවකදී ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කරන ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් කර තිබුණා.

රෝග ලක්ෂණ කිසිත් නොපෙන්වා සිටියත් ඔවුන් ආසාදිතයෝ විය හැකියි කියල ද ඔබ පවසන්නේ?

ඔව්. මේක තමා භයානකම තත්ත්වය. ලෝකයේ සෙසු රටවල් සමග බලන විට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය තමයි සිටින්නේ. ඔවුන් රෝග ලක්ෂණ පෙන්නන්නෙ නෑ නමුත් රෝගය පතුරුවා හරිනවා. මේ රැල්ල එන්න පෙර පැවැති කොවිඩ් තත්ත්වය ගත්තත් ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ පෙන්නුවේ නැහැ. නමුත් අපි ආසාදිතයෝ හඳුනාගෙන සමාජයෙන් වෙන් කළා රෝග ලක්ෂණ නොපෙන්වුවත්. එහෙ ම කළේ ඔවුන්ගෙන් රෝගය පැතිරෙන නිසා. දැනුත් ඕනෑ තරම් ආසාදිතයෝ ඉන්නවා රෝග ලක්ෂණ කිසිවක්ම පෙන්වන්නේ නැති.

මේ වෙලාවේ මාත් එක්ක කතා කරන ඔබත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා මට සිතෙනවා. නමුත් මේ මොහොතේ ඔයාට කොවිඩ් තිබෙන්න බැරි ද? පුළුවන්නේ. නමුත් ඔබ ඒක දන්නෙ නෑ. ඔබ නිරෝගී වගේ සිටියට ඔබේ ඇඟේ වෛරසය තිබෙනවා නම් ඔබව අද හමුවුණු අනෙක් අයට ඔබෙන් ඕක බෝ වෙන්න පුළුවන්. මම මේ කිව්වෙ එක උදාහරණයක්. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි රටේ තිබෙන්නෙ. රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔවුන්ගෙන් රෝගය පැතිරීම තමයි මේ වෛරසයේ තිබෙන භයානක තත්ත්වය. මොක ද කෙනෙක් රෝග ලක්ෂණ විද්‍යමාන කරනවා නම් අපි වුණත් ටිකක් පැත්තකට වෙනවානෙ. නමුත් එහෙම පෙන්වන්නේ නැත්නම් අපි වුණත් වැඩි ගාණක් ගන්නෙ නෑ.

පොදු ස්ථානවලදී, රාජකාරී ස්ථානවලදී සිදු කරන ශරීරයේ උෂ්ණත්වය මැන බැලීමේ ක්‍රියාවලියෙන්වත් මෙවැනි පුද්ගලයන් හසුවන්නෙ නැද්ද?

දැන් ඔය සුපර් මාකට් යද්දි හෝ වෙනත් පොදු ස්ථානවලට යද්දි ශරීරයේ උණ බලනවානේ. එතැනදි අහුවෙන්නෙ උණ තිබෙනවා නම් පමණයිනෙ. නමුත් ශරීරයේ උණක් නැති අයව ඇතුළට ගන්නවානෙ. කාටද කියන්න පුළුවන් උණ නෑ කියලා එයා ආසාදිතයෙක් නෙවෙයි කියලා. ඔවුන්ගේ ඇඟේ වෛරසය තිබෙන්නට පුළුවන් නමුත් රෝග ලක්ෂණ නැහැ. එහෙ ම රෝග ලක්ෂණ කිසිවක් පෙන්වන්නේ නැති අය තමයි නිදහසේ එවැනි පොදු ස්ථානවලට වැඩි වශයෙන් එන්නෙ.

මොකද ඔවුන් සිතනවා රෝග ලක්ෂණ කිසිත් නැති නිසා රෝගයත් නෑ කියලා. නමුත් ඔවුන් දන්නෙ නෑ තමන් ආසාදිතයි කියලා. ඒක තමා භයානකම. මොක ද ඔය උණ බලන ඒවට අරවට මේවට ඇඟේ වෛරසය තිබෙනවා කියලා අහුවෙන්නෙ නෑ. ටෙස්ට් එකක් කළොත් විතරමයි වෛරසය ඇඟේ තිබෙන බව අසුවෙන්නෙ. රෝග ලක්ෂණ කිසිවක් නැති නමුත්, රෝගය ආසාදිත පිරිස් තමයි වැඩිපුර ම එළියේ ගැවසෙන්නේ. ඔවුන් තමා මේ රෝගය පතුරුවන්නෙ. ඒක වුවමනාවෙන් කරන්නෙ නැහැ. මොකද රෝග ලක්ෂණත් නෑනෙ. ඉතින් ඔවුන් දන්නෙත් නෑ ලෙඩේ තියෙනවා කියලා. ඒ නිසා තමයි වැඩිපුර ම ප්‍රවේශම් වෙන්න ඕනෑ.

ඒ කියන්නෙ අපි නිරන්තරයෙන් අනෙකා ආසාදිතයෙක් විය හැකියි කියන මතයේ සිට කටයුතු කළ යුතුයි?

මම කියන්නෙ නැහැ හැමෝ ම ආසාදිතයෝ කියලා සැක කරන්න කියලා. නමුත් තමාත් දන්නෙ නැත්නම් තමා ආසාදිතයි කියලා සහ තමා ඇසුරු කරන සෞඛ්‍යසම්පන්නයි කියලා හිතන අයත් ආසාදිතයෝ විය හැකියි කියලා ප්‍රවේශමෙන් වැඩ කරන එක කොහොමත් හොඳයි. සමාජ දූරස්ථතාව පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම, අත් විෂබීජහරණය කිරීම වගේ දේවල් අපි නිරන්තරයෙන් කළ යුතුයි.

මම තව උදාහරණයක් කියන්නම්, ඔබ ඇසුරු කරන මිතුරා ඉතාම නිරෝගීව ඉන්න කෙනෙක් කියලා ඔබට පේනවා. කිසිම රෝග ලක්ෂණයකුත් නැහැ. ඒ නිසා ඔබ බය නැතිව එයාගෙ සමීපයට ගිහින් මාස්ක් එකත් ගලවලා කතා කරනවා. නමුත් එයා ආසාදිතයෙක් නම් ඔබටත් රෝගය වැළඳෙනවා. මොකද තරුණ අය බොහෝ විට මෙහෙ ම හැසිරෙනවා. අවසානයේ මිතුරත් ආසාදිතයි ඔබත් ආසාදිතයි. ඒ බව දන්නෙ නැතිව නිවසට ගිහිල්ලත් නිදහසේ ගනුදෙනු කරනවා. එතැනදි ඔබට ඔබේ මිතුරාට රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔබේ ගෙදර ඉන්න ඔබේ අම්මා, තාත්තා, සීයා, ආච්චී, ඔබ තරම් වාසනාවන්ත නොවෙන්න පුළුවන්. මොකද ඔවුන්ට රෝගය වැළඳිලා රෝග ලක්ෂණ පෙන්වලා අමාරු වෙන්න පුළුවන් ඔවුන්ගේ වයසත් සමග. ඒ නිසා තමයි ඇතුළත පරිශ්‍රවල සිටිද්දි නිතර ම මාස්ක් එක භාවිත කරන්න කියන්නෙ.

Related Posts